April 27, 2024

පාකිස්තාන අගමැති බිරිඳගේ යෙහෙළිය පාකිස්තානයෙන් පලා යයි

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන්, පොලිස් අත්අඩංගුවෙන් බේරී පාකිස්තානයෙන් පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෆාරා ඛාන්, පාකිස්තාන රුපියල් බිලියන 6 (ඩොලර් මිලියන 32) මුදල් වංචාවකට සම්බන්ධය යැයි චෝදනා ලැබ සිටියි.

ඇය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ද පැවැත්වෙන බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ෆාරා ඛාන්, ඩුබායි බලා ගොස් ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 90,000 ක් වටිනා අත්බෑගයක් ද රැගෙන පෞද්ගලික ජෙට් යානයකින්.

එම ගුවන් ගමන සඳහා ඇයට වැයවී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් 50,000 ක් යැයි ද මේ වනවිට අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

බුෂ්රා බීබී යනු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තෙවැනි බිරිඳය. ඇගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන්, සිය හිතවතුන්ට ස්ථාන මාරුවීම් සහ තනතුරු ලබා දීමට කටයුතු කර ඇති බව පැවැසෙනවා.

පාකිස්තානයේ විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ උප සභාපති මෙන්ම හිටපු අගමැති නවාස් ෂරීෆ් ගේ දියණිය වන මිරියම් නවාස් පවසා ඇත්තේ ෆාරා ඛාන් අගමැති ඉම්රාන් සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් වංචා සහ දුෂණ සිදු කර ඇති බවය.

Rate this item
(0 votes)