April 28, 2024

G - 20 සමුළුවෙන් පුටින් පන්නන්න ලෝක බලවතුන් බරටම වැඩ

මේ වර්ෂයේ නොවැම්බර් මස ලොව ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල සහභාගිත්වයෙන් පැවැත්වෙන G - 20 සමුළුව පැවැත්වීමට නියමිතයි.

එය මෙවර පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ.

රුසියාවේ සාමාජිකත්වය

යුක්රේනියානු ආක්‍රමණය කොට තිබෙන රුසියාවද G -20 කණ්ඩායමේ සාමාජිකයෙක්.

එම සමුළුව සඳහා රුසියානු ජනාධිපති වැල්ඩ්මී‍ර් පුටින් සහභාගී කරවා ගැනීම සම්බන්ධයෙන් G - 20 කණ්ඩායමේ බොහෝ රටවල් සිය විරෝධය දක්වා තිබෙනවා.

ඊට අලුතින්ම එකතු වූයේ කැනඩාවයි.

කැනඩාවේ මතය

කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩේ (JUSTIN TRUDEAU) සඳහන් කරන්නේ තමන් එම සමුළුවේදී රුසියානු ජනපති පුටින්ව දැකීමට අකමැති බවයි.

මීට පෙර එම මතය සමුළුව පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජනාධිපති ජොකො විඩෝඩෝ (JOKO WIDODO) විසින්ද ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සමුළුවට රුසියානු ජනපතිවරයාගේ සහභාගිත්වය බොහෝ රටවලට විශාල ප්‍රශ්නයක් වී ඇති බවයි කැනඩා අගමැතිවරයා අවධාරණය කරන්නේ.

ආර්ථික වර්ධනය

G - 20 සමුළුවේ අරමුණ ලෝක ආර්ථිකයේ වර්ධනය සදහා පියවර ගැනීම බවයි කැනඩා අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

එහෙත් රුසියාව නීති විරෝධීව යුක්රේනියාව ආක්‍රමණය කිරීමෙන් සිදුව තිබෙන්නේ එහි අනිත් පැත්ත එනම් ලෝක ආර්ථිකයට දැඩි පසුබෑමක් ඇති කර තිබීම බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ නිසා රුසියානු ජනපතිවරයා G - 20 සමුළුවේ ධනාත්මක සහකරුවෙකු නොවන බවයි කැනඩා අගමැතිවරයාගේ මතය වන්නේ.

ඇමරිකාවේ ස්ථාවරය

G - 20 සමුළු මේසයේ පුටින් අසුන්ගෙන තිබීම සතුටු වීමට හැකි කරුණක් නොවන බව කැනඩා අගමැතිවරයා පෙන්වා දෙන්නේ රුසියාව යුක්රේනියාව ආක්‍රමණය කිරීම පුටින් සිදුකළ බරපතළ වැරැද්දක් බවට චෝදනාවක්ද කරමින්.

ඇමරිකානු ජනපති ජෝ බයිඩන්ද (JOE BIDEN) G - 20 සමුළුවෙන් පුටින්ව පන්නා දැමිය යුතුය යන මතයේ සිටින අතර ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ද (SCOTT MORRISON) සඳහන් කරන්නේ පුටින්ට ඉන්දුනීසියාවේ බාලි නගරයේ G - 20 සමුළුවට සහභාගිවීමට ඉඩ නොදිය යුතු බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2022 13:13