April 28, 2024

යුක්රේනයට ආයුධ දීම යුද්ධයට අනවශ්‍ය අත පෙවීමක්: චීනයෙන් ඇමරිකාවට චෝදනා

ඇමරිකාව ප්‍රමුඛ රටවල් යුක්රේනයට යුද ආධාර ලබාදීම සම්බන්ධයෙන් චීනය සිය අප්‍රසාදය පලකොට තිබෙනවා.

මේ අවස්ථාවේ ඇමරිකාව කළ යුතුව තිබෙන්නේ එසේ යුක්රේනයට අවි ලබා දීම නොව සාම මාවතට යොමු කිරීම බවයි චීනයේ මතය වන්නේ.

ඇමරිකාවේ වගකීම

එය ඇමරිකාව සතු වගකීමක් පෙන්වා දෙන චීනය ඇමරිකාව ප්‍රමුඛ රටවල් යුක්රේනයට අවි ආයුධ ලබාදීම රටවල් 2 ක් අතර කෙරෙන යුද්ධයකට අනවශ්‍ය මැදිහත් වීමක් ලෙසයි සඳහන් කරන්නේ.

චීනය එසේ සඳහන් කරන්නේ මීට වසර 19 කට පෙර ඇමරිකාව, ඉරාකය ආක්‍රමණය කළ ආකාරයද මතක් කර දෙමින්.

චීනය පෙන්වා දෙන්නේ ඉරාක ආක්‍රමණය ඇමරිකාවේ සැබෑ ස්වරූපය ලොවට පෙන්වා දීමක් ලෙසයි.

ඉරාකයේ කළ දේ

එවකට සිටි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළ පරිදි ඉරාක ආක්‍රමණයේදී ඇමරිකාව කර තිබෙන්නේ බොරුව, වංචාව හා සොරකම පමණක් බවටත් චීනය මත පළ කරනවා.

මේ වන විට රුසියාව යුක්‍රේනියාව ආක්‍රමණය කිරීම හේතුකොටගෙන යුක්රේනියානු පුරවැසියන් ලක්ෂ 35 ක පමණක් සංඛ්‍යාවක් අසල්වැසි පෝලන්තය, ස්ලොවැකියා, හන්ගේරියාව, රුමේනියාව හා මොල්ඩෝවා වෙත සරණාගතයින් ලෙස පලා ගොස් තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් ගොස් තිබෙන්නේ පෝලන්තයට.

එම සංඛ්‍යාව විසි එක් ලක්ෂය ඉක්මවනවා.

චීනයට කළ අනතුරු ඇඟවීම

මීට ටික දිනකට පෙර රුසියාව චීනයෙන් අවි ඉල්ලූ බවට ප්‍රකාශයක් කළ ඇමරිකාව එසේ අවි නොසපයන ලෙස චීනයට අවවාද කිරීමක් කළා.

ඒ එසේ කළහොත් චීනයටද ආර්ථික සම්බාධක වලට මුහුණ දීමට සිදුවන බවට අනතුරු අඟවමින්.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් දුරකථනය හරහා චීන ජනපතිගේ ෂී ජිංපිං අමතා තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 March 2022 14:19