දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන චුන් ඩෝ-හ්වන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
එරට බිහිවූ දරුණු ඒකාධිපති පාලකයෙකු ලෙසට යි ඔහු සැළකෙන්නේ.
රුධිරගත පිළිකා තත්ත්ව කිහිපයකින්ම ඩෝ-හ්වන් මහතා පෙළෙමින් සිට ඇති අතර සෝල් නුවර පිහිටි සිය නිවසේ දී ඔහු මියගොස් ඇති බව දකුණූ කොරියාවේ යොන්හප් පුවත් සේවය වාර්තා කළා.
මියයන විට ඔහුගේ වයස 90ක්.
හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වන චුන් ඩෝ-හ්වන් මහතා 1979 වසරේ දී දකුණු කොරියානු පාලකයා ලෙස බලයට පත් වූවා.
කෙසේ වෙතත් ඔහු එලෙස රාජ්‍ය නායකයා බවට පත් වූයේ හමුදා කුමන්ත්‍රණයකින් මිස ප්‍රජාතන්ත්‍රවාදී අයුරකින් නොවෙයි.
1988 වසර වන තෙක් ඔහු දකුණු කොරියානු පාලකයා ලෙස කටයුතු කළා.
1980 වසරේ සිදු වූ “ග්වංජු සංහාරය” ලෙසින් හැඳින්වෙන මහා අපරාධය සම්බන්ධයෙන් පසු කලෙක ඩෝ-හ්වන් මහතා වරදකරු බවට පත් වූවා.
ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ජනතාව සිදු කළ විරෝධතාවයක දී 200ක් පමණ වූ විරෝධතාකරුවන් සමූල ඝාතනය කිරීම ග්වංජු සංහාරයේ දී සිදු වූ අතර එයට වරදකරු වූ හිටපු ජනාධිපතිවරයාට 1995 දී මරණ දඬුවම ද නියම වුණා.
කෙසේ වෙතත් පසුව 1997 වසරේ දී ඔහුට සමාව හිමි වූවා.
චුන් ඩෝ-හ්වන් මහතාගේ රාජ්‍ය පාලන සමයේ දී ප්‍රජාතන්ත්‍ර විරෝධීව “යකඩ සපත්තුවකින්” ජනතාව යට කොට පාලනය කිරීමට ඔහු ක්‍රියා කළ නමුත් දකුණූ කොරියාව ආර්ථික අතින් බලවත් බවට පත් කිරීමට උර දුන් නායකයෙකු ලෙස ද ඔහු හැඳින්වෙනවා.
“දකුණු කොරියාවේ අවසන් ඒකාධිපතියා” යන අන්වර්ථ නාමයෙන් ද ඔහු හඳුන්වනු ලබනවා.