May 07, 2024

පාකිස්තානය දිනුවාට සතුටු වූ මුස්ලිම් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

November 10, 2021

මේවන විට අවසන් අදියරට පැමිණ ඇති පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගයක් නරඹා සතුට පළ කිරීම හේතුවෙන් පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

මෙම තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට අයත් ලෙස පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය පැවැත්වුණේ පසුගිය මාසයේ 24 වැනි දා යි.

එම තරගය ආරම්භ වීමටත් පෙර සිටම ක්‍රිකට් ලෝකයේ අවධානය ඉන්දියාව වෙත යොමුව තිබුණත් තරගයේ අවසන් ප්‍රතිඵලය සටහන් වූයේ කිසිවෙකු අපේක්ෂා කළ අන්දමට නොවෙයි.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් හට සාර්ථක වීමට ඉඩ ලැබුණේ නැහැ.

නියමිත පන්දුවාර 20 තුළ ඉන්දීය කණ්ඩායම කඩුළු 07ක් දැවී රැස් කළේ ලකුණු 151ක්  පමණ යි.

ඉන්දියාව විසින් පාකිස්තානයට ලබා දුන් ලකුණු 152ක ඉලක්කය පන්දුවාර විස්ස තරගයක දී තරමක් හෝ සෑහීමකට පත් විය හැකි ලකුණූ ගණනක් ලෙස බැලූ බැල්මට පෙනී ගියත්, එම සිතුවිල්ල වෙනස් වූයේ පාකිස්තාන ආරම්භක පිතිකරුවන් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි විට යි.

ආරම්භක පිතිකරුවන් යුගලය වූ මොහොමඩ් රිස්වාන් සහ බාබර් අසාම් එක්ව ඉන්දීය පන්දු යවන්නන් අසරණ කරවූයේ හතරේ පහරවල් සහ හයේ පහරවල් රැසක් එල්ල කරමින්.

ඔවුන් දෙදෙනා එකදු කඩුල්ලක් හෝ ලබා නොදී පාකිස්තානය ජයග්‍රහණය කරා නොදැවී රැගෙන යාම විශේෂයෙන් කැපී පෙනුනා.

ස්ව්‍යං අධිතක්සේරුවක සිටි ඉන්දීය ක්‍රීඩා ලෝලීන් තමන් ලැබූ අන්ත පරාජයත් සමග දැඩි මානසික පසුබෑමකට ලක් වූ අයුරු ද එදින වාර්තා වූවා.

කෙසේ වෙතත් මෙම තරගයෙන් පාකිස්තානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඉන්දියාවේ වෙසෙන ඇතැම් මුස්ලිම් ජාතිකයන් සතුට පළ කොට තිබෙනවා.

එලෙස වෙනත් රටක ජයග්‍රහණය වෙනුවෙන් සතුට පළ කළ ඉන්දීය ජාතික මුස්ලිම් ජනතාවගෙන් පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.

තරගයෙන් දින කිහිපයකට පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව තිබෙන බව පැවසෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් මුස්ලිම් වැසියන් අතර සමාජ ක්‍රියාකාරිණියකවන නෆීසා අටාරි ද සිටිනවා.

ඇය අත්අඩංගුවට පත්ව ඇත්තේ පාකිස්තානයට සුබ පතා සමාජ ජාල ඔස්සේ සටහනක් තැබීමේ වරදට යි.

මෙම සිදුවීම පිළීබඳව මේවන විට ඉන්දීය පොලීසිය වෙත දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර මානව හිමිකම් ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ, හින්දු ජාතිකවාදී රජය මුස්ලිම් වැසියන් මර්දනය කිරීමට ගන්නා නවතම උත්සහය මෙය බවට යි.

යටත් විජිත සමයේ අවසන් භාගයේ සිටම පාකිස්තානය සහ ඉන්දියාව දේශපාලනික වශයෙන් සතුරන් ලෙස සැළකෙනවා.

දෙරට දේශසීමා ආශ්‍රිතව විටින් විට ගැටුම් පවා ඇතිවෙන පසුබිමක යි මෙවැනි සිදුවීමක් වාර්තා වන්නේ.

එමෙන්ම පවතින නරේන්ද්‍ර මෝදි රජය හින්දු ජාතික වාදී අදහස් ඇති රජයක්වන අතර ඒ යටතේ මුස්ලිම් ජනතාවට විවිධ අසාධාරණකම් සිදුවන බවට එම ප්‍රජාව නිතර චෝදනා නගනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 10:40