April 27, 2024

බොලිවුඩ් තරු රැසක් කොරෝනා අවදානමේ

අද වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි තිස් ලක්ෂය ඉක්මවා යද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව පන් ලක්ෂ හැත්තෑ එක්දහස පසු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වැඩිම ආසාදිතයන් පිරිසක් පෙරේදා (12) වාර්තා වී ඇත්තේ අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් වලිනි.

වසංගතයෙන් ලොව තෙවනුවට වැඩිම බලපෑම් එල්ලවූ ඉන්දියාවේ ආසාදිතයන් ගණන අට ලක්ෂ හැත්තෑ නවදහස ඉක්මවා ඇත.

තම ආසාදිත බිරිඳ අයිශ්වර්යා රායි සහ දියණිය ආරාධ්‍යා නිවසේදීම ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන්.

බච්චන් පවුලට සුවය පතා ඔවුන්ගේ රසිකයන් ආගමික වතාවත්වල නිරත විය.

ජනප්‍රිය බොලිවුඩ් නළු අනුපම් කේර්ගේ මව හා සහෝදරයාටද කොවිඩ් ආසාදනයවී ඇති අතර අනුපම් කේර්ට වෛරසය ආසාදනයවී නැති බව වාර්තා වේ.

රංගන ශිල්පිනී රේඛාගේ ආරක්ෂක නිලධාරියෙක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමත් සමග ඇගේ නිවසේ කොටසක් මුද්‍රා තබා තිබේ.

අමෙරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට තිස් හතරලක්ෂ දහ තුන්දහස ඉක්මවන අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ තිස් හත්දහසකට අධිකය.

බ්‍රසීලයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට විසි ලක්ෂයට ආසන්න වී තිබේ.

එරට සිදුව ඇති මරණ ගණන හැත්තෑ දෙදහසකට අධිකය.

බ්‍රසීලය ආර්ථික අවපාතයකට පැමිණෙමින් ඇති බවත් රැකියා මිලියන ගණනක් විනාශවී ඇති බවත් ජනාධිපති ජායිර් බොල්සොනාරෝ නිකුත් කළ ෆේස්බුක් පණිවුඩයක සඳහන් වේ.

අප්‍රිකානු කලාපයේ වැඩිම බලපෑමට ලක්වූ දකුණු අප්‍රිකාවෙන් ඊයේ ආසාදිතයන් දොළොස්දහසකට වැඩි පිරිසක් හඳුනාගැනුණි.

පවතින තත්ත්වය මත එරට මත්පැන් අලෙවිය යළි තහනම් කිරීමට ජනාධිපති සිරිල් රම්පෝසා පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)