April 27, 2024

වූහාන් රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂවරයාත් වයිරසයෙන් මිය යයි

February 18, 2020

වූහාන් නුවර ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලියූ ෂිමින් මහතා අද (18) කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇතැයි වාර්තා වේ.

රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කණ්ඩායමේ ඉහළ ම නිලතල දරමින් සිටි පිරිස අතර, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය දෙවන වෛද්‍යවරයා මොහුය.

වයිරසය සම්බන්ධයෙන් පළමුව අනතුරු ඇඟවූ වුහාන් මධ්‍යම රෝහලේ අක්ෂි වෛද්‍යවරයකු වූ වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මහතා පසුගිය  දා මිය ගියේය.

ඊයේ රාත්‍රියේ හුබෙයි සෞඛ්‍ය කොමිසමෙහි, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රචාරණ කටයුතු දෙපාර්තමේන්තුව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ ලියූ වෛද්‍යවරයා මිය ගිය බවයි. නමුත් ඉන් පසුව ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ වෛද්‍යවරයා ජීවතුන් අතර සිටින බවය.

ඔහු බේරාගැනීමට රෝහල හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද, පළමුව කළ ප්‍රකාශය ලියූගේ සමීප මිතුරකුගෙන් ලද වැරදි තොරතුරුක් බවද කොමිසම එම දෙවන ප්‍රකාශයෙන් පවසා තිබිණි.

ඊයේ(17) රාත්‍රියේ වෛද්‍ය ලියූ මහතාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් අන්තර්ජාලයේද ව්‍යාකූල අදහස් පළ විය.

පසුව චීන රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශයක් නිකුත් කරමින් අද උදෑසන මෙම මරණය වාර්තා කළේය.

වෛද්‍ය සේවකයෝ 10,000ක් පමණ පිරිසක් මේ වනවිට වයිරසය මැඩපැවැත්වීමට ක්‍රියාකරමින් සිටිති. චීනයේ බලධාරීන් පැවසුවේ පසුගිය සිකුරාදා දිනය වනවිට සෞඛ්‍ය සේවකයන් 1716කට රෝගය ආසාදනය වී ඇති අතර, 6දෙනෙකු මිය ගිය බවය.

(රොයිටර්)

Rate this item
(0 votes)