April 26, 2024

ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරයි

ඉරාන විප්ලවීය හමුදා නායක ජෙනරාල් කාසීම් සුලෙයිමානිගේ ඝාතනයට පිළිතුර දීමක් වශයෙන් ඉරානය විසින් ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරුවලට එල්ල කරන ලද ප්‍රහාරයෙන් කිසිදු අමෙරිකානු සෙබළෙකුට හෝ ඉරාක වැසියෙකුට හානියක් සිදුව නැතැයි අමෙරිකානු ජනපති ඩොන්ලඩ් ට්‍රම්ප් ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේ දී සඳහන් කර සිටියා.

එහිදී ප්‍රහාරයට පෙර ආරක්ෂ පියවර අනුගමනය කිරීම නිසා කිසිදු හානියක් සිදු නොවුණු බවත් හමුදා මුලස්ථානයන්ට සුළු අලාභ හානි පමණක් සිදුව ඇති බවත් ජනපති ට්‍රම්ප් විශේෂ ප්‍රකාශය කරමින් සඳහන් කර සිටියා.

ඔහු එහිදී පවසා සිටියේ ත්‍රස්තවාදියෙකු වන ජෙනරාල් කාසීම් විසින් අමෙරිකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම්ව සිටි බවත් ඒ නිසා ඔහුව ඝාතනය කිරීමට සිදු වුණු බවත්ය.
ඔහු ජනාධිපතිවරයාව සිටින තාක් කාලය තුළ ඉරානයට කිසිම දිනක න්‍යෂ්ටික අවි භාවිතයට ඉඩ නොතබන බවද ඔහු අවධාරණය කළා.

ඉරානය න්‍යෂ්ටික වැඩ පිළිවෙළ ඉවත දමා ත්‍රස්තවාදයට සහය දීම වැළැක්විය යුතු බවද ජනපති ට්‍රම්ප් එහිදී සඳහන් කර සිටියා.

තමන්ගේ රටට ප්‍රබල යුධ ශක්තියක් ප්‍රබල මිසයිල පවතින බවත් ඒවා භාවිත කළ හැකි නමුත්, ඔවුන්ට ඒවා භාවිත කිරීමට අවශ්‍යතාවයක් නැති බවත් ⁣ජනපති ට්‍රම්ප් ⁣ඔහුගේ විශේෂ ප්‍රකාශයේ දී කියා සිටි අතර ඔවුන් ලෝකයට හිසරදයක් වූ අයි.එස්.අයි.එස් නායක අල් බග්ඩාඩිව විනාශ කළ ආකාරය ද ඔහු සිහිපත් කළා.

එහිදී ජනපති ට්‍රම්ප් කළ සුවිශේෂි ප්‍රකාශය වනුයේ ඔවුන් තවදුරටත් මැද පෙරදිගින් තෙල් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කිරීමයි. තමන්ගේ පාලන කාලය තුළ අමෙරිකාව සීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගත් බවත් ඔවුන්ට අවශ්‍ය තෙල් ඔවුන්ටම සපයා ගත හැකි බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී සඳහන් කර සිටියා.

ඉරානයට පිළිතුරු දීමක් වශයෙන් දැඩි නව ආර්ථික සම්බාධක පනවන බව ද සඳහන් කර සිටියා.

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද එරට වෙලාවෙන් උදෑසන 11.28ට ජාතිය අමතමින් මෙම විශේෂ ප්‍රකාශය සිදුකරනු ලැබීය.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 08 January 2020 22:53