April 27, 2024

මෝදි දෙවන ධූර කාලයට පත්වනු ඇතැයි අනාවැකි

සති හතක් මුළුල්ලේ පැවැති ඉන්දියාවේ 17 වැනි මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දෙවැනි ධූර කාලය සඳහා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇතැයි අනාවැකි පළ වී ඇත.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය ඊයේ (19) අවසන් විය. ඡන්ද ප්‍රතිඵල ගණන් කිරීම ලබන 23 වැනිදා සිදුකිරීමට නියමිතය.

අවසන් වරට 2014 වසරේ පැවැති මහ මැතිවරණයේදී අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය උත්තර ප්‍රාන්තයේ ආසන 80න් 71ක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර මෙවර එහි යම් පසුබැසීමක් සිදුව ඇතැයි අනාවැකි පළ වී තිබේ. කෙසේ නමුත් භාරතීය ජනතා පක්ෂයේ උතුරේ සහ බටහිර බල කඳවුරු තම ශක්තිය තවදුරටත් තහවුරු කරගෙන ඇතැයි ද බටහිර බෙංගාලයේදී සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් තමන් සතු කරගෙන ඇතැයි ද දැනට පළ වී ඇති අනාවැකිවලින් කියැවේ.

එසේ වුවත් ඉන්දියාවේ දකුණු පෙදෙසේ ප්‍රාන්තවලින් කර්නාටක ප්‍රාන්තය හැරෙන්නට අනෙක් ප්‍රාන්තවලදී භාරතීය ජනතා පක්ෂය ප්‍රතිවාදීන්ට පසුපසින් සිටින බව පැවසේ.

භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන කොංග්‍රසය 2014 වසරේදී ඓතිහාසික පරාජයකට මුහුණ දුන්නේය. කෙසේ නමුත් මෙවර කොංග්‍රසය සහ ඔවුන්ගේ මිත්‍ර පක්ෂ සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත. ආසන 543කින් සමන්විත ලෝක් සභාවේ බහුතරය බලය දිනාගැනීමට නම් ආසන 272 වැඩි සංඛ්‍යාවක් දිනා ගත යුතුය. රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු කොංග්‍රස් පක්ෂය මෙවර ආසන 272න් අඩකට ආසන්න සංඛ්‍යාවක් දිනාගනු ඇතැයි දැනට අනාවැකි පළ වී ඇත.

භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 242ත් 365ත් අතර සංඛ්‍යාවක් දිනාගනු ඇතැයි ද කොංග්‍රසය ප්‍රමුඛ එක්සත් ප්‍රගතිශීලි සන්ධානය ආසන 77ත් 164ත් අතර සංඛ්‍යාවක් දිනාගනු ඇතැයි පැවසේ. 

ඉහත කී සන්ධාන දෙකෙන් එකකට හෝ සම්බන්ධ නැති සමාජ්වාදි පක්ෂය, බහුජන සමාජ් පක්ෂය සහ රාශ්ත්‍රීය ලෝක් දාල් යන පක්ෂ ආසන 69ත් 125ත් සංඛ්‍යාවක් දිනාගනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.
කෙසේ නමුත් මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් පළ වූ අනාවැකි වැරැදුණු දීර්ඝ ඉතිහාසයක් ඉන්දියාව සතුව ඇත.  

වර්තමානය වනවිට මහජන මතය සම්බන්ධයෙන් සහ ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් පළ වූ අනාවැකිවල විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබේ. 

පසුගිය සතියේ අවසන් වූ ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය, 2016 වසරේ පැවැති ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරණය සහ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් පැවැති ජනමත විමසුම පිළිබඳව කෙරුණු මත විමසීම්, අනාවැකි පළ කිරීම් සියල්ල වැරැදුණි. 

Rate this item
(0 votes)