April 26, 2024

කිම්-ට්‍රම්ප් අතර දෙවැනි හමුව නොවැම්බරයේ

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ තමන් අතර දෙවැනි හමුව නොවැම්බර් මස පැවැත්වෙන කොංග්‍රස් මැතිවරණයෙන් පසුව සිදුවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. 
 
ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සභාවේ මීළඟ සභා වාරය සඳහා මෙම මැතිවරණය පැවැත්වෙයි. නොවැම්බර් 6 වැනිදා පැවැත්වෙන මෙම මැතිවරණය ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල මැතිවරණය ලෙස ද හැඳින්වේ. 
 
මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ මැතිවරණය යනුවෙන් ද හැඳින්විය හැකිය.
 
අයිවා හි පැවැත්වෙන දේශපාලන රැළියකට යාමට පෙර මාධ්‍යවේදීන් අමතමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ බව කීවේය.
 
“මැතිවරණයෙන් පසු මම උතුරු කොරියානු නායකයා හමුවීමට බලාපොරොත්තු වෙනවා” යැයි හෙතෙම කීය. 
 
තමන් පසුගිය ජූලි මාසයේදී උතුරු කොරියානු නායකයා හමුවීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර සබඳතා සැළකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි ඇමෙරිකා ජනාධිපතිවරයා මීට පෙර අවස්ථාවකදී පැවැසීය. 
 
“ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පසුගිය සතියේදී උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් හමු වී සාකච්ඡා පැවැත්වූවා. ඔවුන්ගේ සාකච්ඡා සාර්ථකයි. මීළඟ හමුව පිළිබඳ ස්ථාන කිහිපයක්ම සැලකිල්ලට ගෙන තිබෙනවා” ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කීය. 

Rate this item
(0 votes)