April 27, 2024

චීනය නිකුත් කළ මුද්දරයකින් පවුල් සැලසුම් සීමා ලිහිල් කෙරෙන ඉඟියක්

සූකරයාගේ වර්ෂය වෙනුවෙන් චීනය නිකුත් කළ මුද්දරයත් සමඟ එරට පවුල් සැලසුම් සීමා ලිහිල් කෙරෙන බවට ඉඟියක් ලැබී තිබේ. මින් වසර දෙකකට පෙර චීනය එක් දරු ප්‍රතිපත්තිය අහෝසි කිරීමට පෙර 'වඳුරාගේ වර්ෂය' සඳහා නිකුත් කෙරුණු මුද්දරයේ වඳුරු පැටවුන් දෙදෙනෙකු දක්වා තිබුණු අතර මෙවර මුද්දරයෙන් නිරූපනය කෙරෙන්නේ සූකර යුවළක් හා පැටවුන් තිදෙනෙකි. එක් මුද්දරයකින් "ප්‍රීතිමත් ජීවිතයක් කරා දිව යන" එක් ඌරකු නිරූපනය වන අතර තවත් එකකින් "ප්‍රීතියෙන් සිටින සාමාජිකයන් පස්දෙනෙකුගේ ඌරු පවුලක්" පෙන්වයි.

මෑතක සිට චීන රජය, එක් දරුවකුට වඩා දරුවන් හිමිකර ගැනීම වෙනුවෙන් යම් යම් දිරිගැන්වීම් ද සිදු කර ඇත. එහිදී බදු සහන වැනි දිරිගැන්වීම් මෙන්ම අධ්‍යාපන හා නිවාස සහන සැලසීමට ද ප්‍රාදේශීය වශයෙන් කටයුතු කර තිබුණි.

චීනයේ එක් දරු ප්‍රතිපත්තිය, මුලින්ම 1979 වර්ෂයේ හඳුන්වා දෙනු ලැබූ අතර, 2015 දී අහෝසි කෙරිණි. නමුත් දරුවන් දෙදෙනෙකු පිළිබඳ ප්‍රතිපත්තියේ වාසි සලසා ගැනීමට මවුපියන් එතරම් දැඩි උද්යෝගයක් පළ නොකළේය. බොහෝ චීන තරුණයන් පවසන්නේ, දෙදෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් නොව, එක් දරුවකු හෝ හදා වඩා ගැනීමටත් අරගල කිරීමට සිදුවී ඇති බවයි.

ජනවාරි හෝ පෙබරවාරි මාසයේ උදාවන චීන අලුත් අවුරුද්ද සම්ප්‍රදායිකව අලුත් ආරම්භයක සලකුණක් පෙන්වයි. අලුත් චන්ද්‍ර වර්ෂයේ එන ප්‍රතිපත්ති වෙනස්කම් ගැන ඊට පෙර කිසියම් තේමා සහ අදහස් ඉස්මතු කිරීම එරට රජය විසින් කරනු ලබයි.

Rate this item
(0 votes)