April 26, 2024

පුටින්ගෙන් රුසියානු පාපන්දු කණ්ඩායමට සුබ පැතුම්

ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ‘රුසියානු’ පාපන්දු කණ්ඩායමේ කළමනාකරුට දුරකතන ඇමතුමක් දෙමින් කණ්ඩායමට සුබ පැතුම් එක් කර ඇතැයි ක්‍රෙම්ලීනය සඳහන් කරයි.

දහසය දෙනාගේ වටයේදී ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම එරෙහිව සියල්ලන් පුදුම කරමින් ඓතිහාසික ජයක් ලැබීමට රුසියානු කණ්ඩායම පෙරේදා (1) සමත්විය. 

රුසියානු කණ්ඩායම පාපන්දු ලෝක කුසලානයට එක්වූයේ තරගාවලියට එක්ව සිටින දුර්වලම කණ්ඩායමක් ලෙසය. තරගයේ පළමු වටයේදී සෞදි අරාබිය සහ ඊජිප්තුව පහසුවෙන් පරාජය කළ රුසියානු කණ්ඩායම ඊයේ, එනම් පෙරේදා (1) ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම පරාජයට පත් කරමින් අතිවිශිෂ්ට ජයක් ලැබීය.

ඒ අනුව රුසියානු කණ්ඩායම අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී. සෝවියට් සමූහාණ්ඩුව සමයෙන් පසු නූතන රුසියාවේ පාපන්දු කණ්ඩායමක් පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසාන මහ තරගාවලියේ මෙතරම් දුරක් පැමිණි පළමු අවස්ථාව මෙයයි. 

රුසියානු පාපන්දු කණ්ඩායම ලැබූ මෙම අනපේක්ෂිත ජය පුටින් දේශපාලනික වශයෙන් ද ලැබූ ජයක් යැයි පැවැසුණි. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තරගාවලියේ සමාරම්භක තරගයට සහභාගී විය. 

එහෙත් කාර්යබහුලත්වය හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ස්පාඤ්ඤය තරගය නැරඹීම සඳහා සහභාගී විය නොහැකි වූ බව ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක ද්මිත්‍රි පෙස්කොව් පැවැසීය. ක්‍රීඩාංගනයට පැමිණීමට  නොහැකි වුවත් පුටින් තරගය නැරඹු බව ද පෙස්කොව් කීය. 

“මුළු රටම වගේම ජනාධිපති පුටින් ආරම්භයේ සිටම අවසානය දක්වාම තරගය නැරඹුවා” යැයි පෙස්කොව් කීවේය. 

රුසියානු පාපන්දු කණ්ඩායම ලැබූ ජයත් සමඟම එරට මොස්කව් ඇතුළු නරග රැසකම ජයසැමරුම් පැවැත්විණි. රුසියානු පාපන්දු ලෝලීහු වීදිවල ප්‍රීතිඝෝෂා නැගූහ. 

ජනාධිපති පුටින් තරග ආරම්භයට පෙරත් තරග ජයෙන් පසු පාපන්දු කණ්ඩායමේ කළමනාකරු ස්ටැනිස්ලව් චෙර්චේසොව්ට දුරකතයෙන් අමතා සුබ පැතුම් එක් කළ බව පෙස්කොව් වැඩිදුරටත් කීය. 

ස්පාඤ්ඤය සමඟ පැවැති තරගය නැරඹීම සඳහා රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වෙදෙව් ඔහුගේ බිරිඳ සමඟ ක්‍රීඩාංගනයට පැමිණ සිටියේය. ඔහු නියෝජ්‍ය අගමැති විටැලි මුට්කෝ සමඟ රුසියානු පාපන්දු කණ්ඩායම සමඟ ජය සමරන අයුරු දැක්වෙන ඡායාරූපයක් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 July 2018 16:36