April 27, 2024

හයබූසා 2 ශටලය රයුගු වෙත ළඟාවේ

වසර හතරකට පෙර අභ්‍යාවකාශ ගත කෙරුනු හයබූසා 2 නම් ජපන් අභ්‍යවකාශ ශටලය එහි ඉලක්කය වෙත ලඟා වී ඇතැයි පැවසේ.

2014 වර්ෂයේ දී ටනෙගෂිමා ගුවන් කඳවුරෙන් උඩු ගුවනට ගමන් කළ යානය දියමන්ති හැඩැති රයුගු නම් ඇස්ටරොයිඩය වෙත සාර්ථකව ලඟාවී ඇත.
රයුගු වෙත ලඟාවී එය ගවේෂණය කිරීමත් එහි පාෂාණ කොටස් සහ පස් පෘථිවියට රැගෙන ඒමත් අභ්‍යාවකාශ ශටලයට පැවරී ඇත. 
 
ඇස්ටරොයිඩයේ පෘෂ්ඨය විදීමට ලක්කර එහි වඩාත් ගැඹුරින් පිහිටි කොටස් පිටතට ගැනීමට සැලසුම් කර ඇති බව ජපාන මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. මෙහිදී පිපිරීමක් සිදුකර කුඩා ආවාටයක් සෑදීමටද නියමිත බව පැවසේ.
කෙසේ වුවද හයබූසා මෙහෙයුම් කළමණාකරු පවසන්නේ මෙය විශාල අභියෝගයක් බවයි.
 
පෘථිවියට කිලෝමීටර් මිලියන 290ක් දුරින් පිහිටි මීටර් 900ක් පළලින් යුතු මෙම ග්‍රහකය අධ්‍යයනය කිරීම සඳහා ෂටලය අවුරුදු එකහමාරක කාලයක් එහි රැඳෙනු ඇති බව ඔහු පවසයි.  
 
හයබූසා 2020 වර්ෂයේදී නැවත පෘථිවියට ලඟාවීමට නියමිතය.
 
(බීබීසී)

Rate this item
(0 votes)