April 26, 2024

කැස්ත්‍රෝ පවුලේ පාලනය ගිලිහෙයි

කියුබානු පාර්ලිමේන්තුව එරට නව ජනාධිපතිවරයා ලෙස ඉංජිනේරුවෙකු වන 57 හැවිරිදි ඩයස් කානල් තෝරා පත් කරගෙන තිබේ.

ඒ අනුව දශක හයකට කාලයක් කියුබාවේ පැවති කැස්ත්‍රෝ පවුල් පාලනය නිමාවට පත් වෙයි. 

1959 වසරේ සිට 2008 වසර දක්වා ගතවූ අවුරුදු 50කට ආසන්න කාලය තුළ කියුබා රජයේ මුල් පුටුව හොබවනු ලැබුවේ  විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ විසිනි.

වර්ෂ 1959 සිට 1976 දක්වා කියුබාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන්ද 1976 සිට එරට ජනාධිපති ලෙසින්ද කැස්ත්‍රෝ සේවය කළේය. 

එමෙන්ම කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස ඔහු 2011 තෙක් කටයුතු කරනු ලැබූ අතර 2008 දී රාජ්‍ය නායකත්වය සහෝදර රාවුල් කැස්ත්‍රෝට පවරනු ලැබීය. 

කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ 2016 වර්ෂයේ නොවැම්බර් 25 වන දින අභාවප්‍රාප්ත වූ අතර ඒ වන විට ඔහු 90 වැනි වියේ පසු විය.

විප්ලවිය නායක ෆිදෙල් කැස්ත්‍රෝගෙන් පසු මේ දක්වා කියුබාවේ ජනාධිපති ධුරය හොබවනු ලැබූවේ රාවුල් කැස්ත්‍රෝ විසිනි.

ඉදිරි වසර 05 සඳහා කියුබානු පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර ගැනීමේ මැතිවරණය මාර්තු 11 වැනි දින පැවැත් වූ අතර රාවුල් කැස්ත්‍රෝ එම මැතිවරණයට ඉදිරිපත් නොවීම මත ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන්නේ නැහැ.

ඒ හේතුවෙන් ඔහුට ජනාධිපති ධුරය නොලැබෙන අතර ඉදිරි කාල වකවානුව සඳහා කියුබාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඔහුට අතිශය සමීප පුද්ගලයෙකු වන 57 හැවිරිදි ඉන්ජිනේරුවෙකු වන ඩයස් කානල්.

ඔහු කියුබාවේ හිටපු උප ජනාධිපතිවරයෙක්ද වෙයි.

නාමයෝජනාව  සඳහා එරට ජාතික සභාව විසින් ඡන්දය ලබාදී ඇති අතර ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව  ඩයස් කානල් කියුබාවේ නව ජනාධිපතිවරයා ලෙස නිල වශයෙන් තේරී පත්වීමට නියමිතයි.

ඩයස් කානල් ගේ පත්වීමත් සමඟ කියුබාවේ දශක ගණනාවක් පැවති කැස්ත්‍රෝ පවුල් පාලනය නිමාවට පත් විය.

කෙසේ නමුත් රාවුල් කැස්ත්‍රෝ 2021 වර්ෂය දක්වා  තව දුරටත් කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් විය.

Rate this item
(0 votes)