April 26, 2024

සිරියා හමුදා ප්‍රහාරවලින් දින 3කදී සිවිල් වැසියන් 300කට වඩා මිය ගිහින්

February 23, 2018

සිරියාවේ අඛණ්ඩව සිදු වන ප්‍රහාර වලින් දින තුනක් තුළ සිවිල් වැසියන් 300 දෙනකුට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් සිරියා රජයට පමණක් නොව රුසියාවට ද චෝදනා එල්ල වෙයි. මෙතරම් සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ සිරියා රජයේ හමුදා ඉකුත් දින තුනක කාලයේදී එල්ල කරන ලද ගුවන් හා රොකට් ප්‍රහාරවලිනි. නැගෙනහිර ගූථා ප්‍රදේශය 2013 වසරේ සිට කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන අතර සිරියා රජයේ හමුදා සහ රුසියානු ඒකාබද්ධ හමුදා එම ප්‍රදේශයට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරයි.

මෙම ගුවන් ප්‍රහාර හමුවේ කුඩා දරුවන් මිය යෑමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන ‘යුනිසෙෆ්’ සංවිධානය විස්තරාත්මක පාද සටහන් දැක්වෙන විශේෂ ‘හිස් ලියවිල්ලක්’ ද ප්‍රසිද්ධියට පත් කළේය.

අහිංසක කුඩා දරුවන් ඇතුළු සිවිල් වැසියන් දරු මුවට පත් වීමත් සමඟ බටහිර රටවල්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි අනුබද්ධිත සංවිධාන මෙන්ම මානව හිමිකම් සංවිධාන ද ඒ සම්බන්ධයෙන් සිරියා රජයට චෝදනා එල්ල කරයි. සිවිල් වැසියන්ට ආහාර, ඖෂධ ඇතුළු ආධාර සැපයීම සඳහා මසක සටන් විරාමයක් නිවේදනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියානු රජය, කැරැලිකරුවන් සහ සිරියානු සිවිල් යුද්ධයට මැදිව සිටින අනෙකුත් සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියද කිසිදු පාර්ශ්වයකින් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. 

Rate this item
(0 votes)