April 27, 2024

චීනය ඇත්දළ වෙළඳාම තහනම් කරයි

නීති විරෝධී ඇත්දළ වෙළෙඳාම නවතා දැමීම සඳහා සැකසූ නීතිරීති ඊයේ (1) සිට ක්‍රියාත්මක වන බව චීනය පවසයි. 
 
ඊයේ (1) සිට නීතිය ක්‍රියාත්මක වුවද එය ඉරිදා (31) සිට බලාත්මක බව ද චීන බලධාරීහූ ප්‍රකාශ කළහ. මේ අනුව ඇත්දළ විකිණීම, ඇත් දළ මිලදී ගැනීම, ඇත් දළ ළඟ තබා ගැනීම ආදී සියල්ල චීන නීතියට පටහැනිය. ඇත්දළ නීතිය සම්බන්ධයෙන් චීනයේ වනජීවි අමාත්‍යාංශය සවිස්තර විස්තරයක් එරට ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාලය වන වීබෝ ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබිණි.

එමෙන්ම රජයේ අනුමත ඇත් දළ ගනුදෙනුකරුවකු බව පවසමින් කිසිවකුටත් ඇත් දළ වෙළෙඳාමේ නිරත විය නොහැකි බව එම අමාත්‍යාංශය තවදුරටත් අවධාරණය කර තිබේ.
 
නව නීති රීතිවලට අනුව අන්තර්ජාලය ඔස්සේ චීනයේ තුළ දී මෙන්ම විදේශයක සිට ඇත්දළ වෙළෙඳාම නිරත වීම නීති විරෝධීය. 
 
පසුගිය වසරේදී චීනය ඇත්දළ වෙළෙඳාම සම්බන්ධයෙන් අර්ධ වශයෙන් නීතිරීති ක්‍රියාත්මක කළ අතර එම කාලයේදී චීනය තුළට ගෙනා ඇත් දළ ප්‍රමාණය සියයට 80කින් පමණ අඩු වූ බව ෂිංහුවා පුවත් සේවය වාර්තා කර තිබේ. 
 
එම කාලයේදීම අමු ඇත්දළවල දේශීය මිල ගණන් සියයට 65කින් අඩු වී තිබේ. පසුගිය වසරේ මාර්තු මාසය චීනය තුළ ඇත්දළ වෙළඳාමේ නිරත වූ කර්මාන්තශාලා 67ක් වසා දැමූ අතර තවත් කර්මාන්තශාලා 105ක් දෙසැම්බර් (31) වැනි දා වසා දමා තිබේ.
 
ඇත්දළ වෙනුවෙන් වසරකට අලි ඇතුන් දහස් ගණනක් මරා දමන අතර වැඩිම මිලකට අලෙවි වන්නේ අප්‍රිකානු ඇත්දළය. පසුගිය දස වසරක කාලයේදී අප්‍රිකාවේ අලිගහනය 110,000 කින් 415,000ක් දක්වා පහත වැටී ඇතැයි සොබාදහම් සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරයි. චීනය ලොව විශාලතම නීතිවිරෝධී ඇත්දළ වෙළෙඳපොළ ලෙස සැලකෙයි.

Rate this item
(0 votes)