April 26, 2024

ළමා විවාහ නිසා ඩොලර් ට්‍රිලියන ගණනක හානියක්

ලොව පුරා බොහෝ රටවල තවමත් ක්‍රියාත්මක වන ළමා විවාහ හේතුවෙන් ඉදිරි දශකයක පමණ කාලය ඇතුළත ලෝකයට ඩොලර් කෝටි ලක්ෂ ගණනක (ඩොලර් ට්‍රිලියන ගණනක) මූල්‍ය හානියක් සිදු වනු ඇති බව අලුත්ම පර්යේෂණ වාර්තාවකින් හෙළිදරව් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දරුවන් විවාහ කරදීමේ සම්ප්‍රදායයට නැවතීමට තිත තැබීම මගින් දැරියන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය, කාන්තාවන්ගේ ආදායම සහ පවුලේ සුභසාධනය කෙරෙහි ද ප්‍රබල සාධනීය බලපෑමක් ඇති කෙරෙන බවත් ලෝක බැංකුව (World Bank) සහ කාන්තාවන් සම්බන්ධ පර්යේෂණ මධ්‍යස්ථානය (Centre for Research on Women) විසින් පවත්වන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ළමා විවාහ හේතුවෙන් ගෝලීය වශයෙන් එල්ලවන මූල්‍ය බලපෑම සහ ළමා විවාහ නැවතීම මගින් ලැබෙන වාසි සම්බන්ධ පළමු පූර්ණ තකසේරුව මෙය බව Girls Not Brides සංවිධානය සඳහන් කර ඇති අතර ලෝක බැංකු වාර්තාව සඳහන් කරන අන්දමට ලෝකයේ ළමා විවාහ වැඩියෙන්ම සිදුවන රටවල් 20 අතර ආසියානු කලාපීය රටවල් තුනක් වන බංගලාදේශය,ඉන්දියාව සහ නේපාලය යන රටවල් තිබෙන බවයි.

ශ්‍රී ලංකාවේ ළමා විවාහ එතරම් ප්‍රචලිතව නැතත්, මුස්ලිම් ජනතාවට පමණක් බලපැවැත්වෙන මුස්ලිම් විවාහ සහ දිකක්සාද පනත හේතුවෙන් ඇතැම් මුස්ලිම් දැරියන් මුහුණ දෙන ශෝචනීය ඉරණම පිළිබඳව පවත්වන ලද  විශේෂ ගවේෂණයක වාර්තාවක් බීබීසී සිංහල සේවය පසුගියදා ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පමණක් මුස්ලිම් ජනතාව අතර ළමා විවාහ වසරක් ඇතුළත 14 % සිට 22 % දක්වා ඉහල ගොස් ඇති බව ද එමගින් හෙළිදරව් වී ඇති බවත්  ලෝක බැංකුවේ පර්යේෂණය හෙළි කරන පරිදි ජනගහන වර්ධනය, දරු උපත් සඵලතාව, පවුලේ ආදායම සහ ළමා සෞඛ්‍ය සම්බන්ධයෙන් සලකා බැලීමේදී 2030 වනවිට තුන්වෙනි ලෝකයේ රටවලට එමගින් සිදුවන මූලය හානිය ඩොලර් ට්‍රිලියන සංඛ්‍යාවක් විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 July 2017 11:59