April 26, 2024

ඇමරිකාව කටාරයට ජෙට් යානා විකුණයි

කටාර් රාජ්‍යය F-15 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම සඳහා එක්සත් ජනපදය සමඟ ඩොලර් බිලියන 12ක වෙළඳ ගිවිසුමකට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 එක්සත් ජනපදයේ ආරක්ෂක ප්‍රධානි ජිම් මාටිස් සහ කටාර් රාජ්‍යයේ නියෝජිතයා වොෂිංටන් නුවර දී හමුවීමෙන්  අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.

එය සිදු වුයේ කටාරය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට ඇමරිකා ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චෝදනා කරනු ලැබීමෙන් දින කිහිපයකට පසුවය.

කටාර් බලධාරීහු විසින් එම චෝදනා ප්‍රතික්‍ෂේප කරනු ලබයි.

ගල්ෆ් රටවල් කිහිපයක් ද එක් වී කටාරය සමඟ සබඳතා අත්හරිනු ලැබූවේ, කටාර් රාජ්‍යය අන්තවාදී කණ්ඩායම්වලට සහයෝගය දීම සහ ඉරානය සමඟ පවතින සබඳතා මඟින් කලාපය අස්ථාවර කෙරෙන බවට චෝදනා කරමිනි.

මැදපෙරදිග පවතින විශාලතම ඇමරිකානු ගුවන් හමුදා කඳවුර පිහිටා ඇත්තේ කටාර් රාජ්‍යය තුළය.

ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට ජනපති ට්‍රම්ප් විසින් කටාරයට චෝදනා කරනු ලැබූ නමුත් මීට දින කිහිපයකට පෙර කලාපීය ආරක්‍ෂාව සඳහා කටාර් රාජ්‍යයේ චිරස්ථායී කැපවීම එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අගය කොට තිබිණි.

එක්සත් ජනපදයෙන් ප්‍රහාරක ජෙට් යානා 36ක් මිලදී ගත් බව කටාරයේ ආරක්ෂක අමාත්‍යංශ බලධාරියෙකු විසින් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.මෙම ගනුදෙනුව සිදු වීමට දින කිහිපයකට පෙර ඩොලර් බිලියන 100කට අධික වටිනාකමකින් යුත් යුද අවි ලබාදීමටද එක්සත් ජනපදය සහ සෞදි අරාබිය ගිවිසුම් ගත කර ඇති බවත් තවදුරටත් සඳහන් වේ.

(BBC)

Rate this item
(0 votes)