April 26, 2024

ඉරාන ජනපතිකම නැවතත් රුහානිට

ඉරාන ජනාධිපතිවරණයෙන් බලයේ සිටින ජනාධිපති හසන් රුහානි (Hassan Rouhani) ජයගෙන ඇත.

එරට  රාජ්‍ය රූපවාහිනිය ජයග්‍රාහක ජනාධිපතිවරයාට ශුභ පැතීමක් ද එක් කරමින් එය නිවේදනය කර ඇත.

තමා දෙවන වතාවටත් පදවිය සඳහා තෝරා ගනු ලැබුනොත් ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කරන බවට ජනාධිපති හසන් රුහානි සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී ප්‍රතිඥාවක් දී තිබුණා.

දෙන ලද සියලු ඡන්ද ගණන් කරනු ලැබ අවසානයේ දී බලයේ සිටින ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 57% ක් පමණ වූ අතර මෙවර ඉරාන් ජනාධිපතිවරණයේ දෙවන වටයක් පැවැත්වීමක් සිදු නොවෙයි.

හසන් රුහානි සිය ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා පරදවමින් පහසු ජයග්‍රහණයක් ලද බව ඉරාන් වාර්තා මගින් පවසනවා.

ඉරානයේ මැතිවරණ නීතිය අනුව ජනාධිපතිවරණයක දී ඉදිරියෙන් සිටින අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් 50% ක ඡන්ද ලබා ගැනීමට අසමත් වුනොත් ඔවුන්ට දෙවන වටයක් සඳහා යාමට සිදු වෙනවා.

මේ අතර පරාජිත අපේක්ෂක ඊබ්‍රාහිම් රෙයිසි (Ebrahim Raisi ) ජනාධිපතිවරණ ඡන්ද විමසීම් වලදී ප්‍රෝඩා සිදුවූ බව පවසමින් මැතිවරණ නිලධාරීන්ට දැනටමත් පැමිණිලි කර ඇති බවක් ද වාර්තා වෙනවා.

මෙවර ඉරාන් ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 70% ක් පමණ වුණා.

 ජනාධිපතිවරයාගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වන ඊබ්‍රාහිම් රෙයිසි ඉරානයේ සුපිරි ආගමික නායක අයතොල්ලා කොමෙයිනිගේ කිට්ටු හිතවතකු වන අතර ජනාධිපති රුහානි ගේ පාලනය තුළ ඉරානයට එල්ල වූ ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් වැඩි වූ බවට සහ ආර්ථිකය දුර්කළමනාකරණයට යටත් වූ බවට චෝදනා කළා.

ජනාධිපති රුහානිගේ පළමු නිල කාලය තුළ ඉරානය සහ ජාත්‍යන්තරය අතර සබඳතා ශක්තිමත් වූ නමුත් රටතුළ ආර්ථික මන්දගාමී භාවයක් ඇති වූ බවට ප්‍රතිවාදීන්ගෙන් චෝදනා එල්ල වුණා.

ඉරාන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ එකඟතාවයක් ඇති කර ගැනීම රුහානි පාලනය ලද විශාල ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.

Rate this item
(2 votes)