April 26, 2024

චින්නම්මාගේ මහ ඇමති සිහනය බොඳවෙයිද?

February 09, 2017
තමිල්නාඩුවේ වත්මන් මහ ඇමති ඕ. පනීර්සෙල්වම් සිය නිහඬතාව බිඳීමත් සමග ජයලලිතාගේ ළඟම හිතවතිය ලෙස මහ ඇමති සිහිනයෙන් පසුවන සසිකලා නටරාජන් නොසන්සුන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

තමා ජයලලිතාගේ ඉල්ලීම පිට මහ ඇමති ධුරය භාරගත් බව පැවසූ පනීර්සෙල්වම්, තමාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස සසිකලා පාර්ශ්වයෙන් බලකෙරුණු බව අවධාරණය කරයි.

ජයලලිතාගේ සොහොන් කොත පිහිටි ස්ථානයේ පැයකට ආසන්න කාලයක් දැහැන්ගතව සිටි මහ ඇමති පනීර්සෙල්වම්, පසුව මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් මෙම දෝෂාරෝපණය සිදුකළේය.

මේ සමගම තමිල්නාඩු දේශපාලනය දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන ඇති අතර, පාලක අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්ෂයද (ඒ.අයි.ඒ.ඩී.එම්.කේ) සසිකලාද, පනීර්සෙල්වම්ද, යන උභතෝකෝටිකයක සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත්, පනීර්සෙල්වම්ගේ ඉල්ලා අස්වීමත් සමග එම පක්ෂය පසුගියදා කියා සිටියේ ප්‍රාන්තයේ මීළඟ මහ ඇමතිනිය හා පක්ෂ නායිකාව ලෙස සසිකලා නටරාජන් පත්වනු ඇති බවයි.

සාමාන්‍ය පවුලක ඉපිද, සිය ස්වාමියාගේ රැකියාව අහිමි වීමෙන් පසුව, වීඩියෝ පට කුලියට ලබාදීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය සසිකලා, තම හිතවතෙකුගේ මාර්ගයෙන් ජයලලිතා හමුවී දශක තුනකට අධික කාලයක් ඇගේ පෞද්ගලික සහකාරිය ලෙස කටයුතු කළාය.

ඒ හැර දේශපාලන ක්ෂේත්‍රයේ කිසිදු නිලයක් නොදැරූ ඇය ජයලලිතා පසුපසින්ම ගමන් කරමින්, ඇගේ ඥාතීන්ටවත් නොතිබූ බලයක් ජයලලිතාට සමීප වීම තුළ ගොඩනගා ගනු ලැබීය. ජයලලිතා අම්මා ලෙස දකුණු ඉන්දීය ජනතාව හඳුන්වද්දී, ඇගේ පසුපසින්ම සිටි සසිකලා පුංචි අම්මා වූයේ නිරායාසයෙනි.

කෙසේ වෙතත්, සසිකලා වෙත චෝදනා එල්ල කළ පනීර්සෙල්වම් වැඩිදුරටත් මාධ්‍ය ඉදිරියේ පවසා සිටියේ රෝගීව සිටි ජයලලිතා බැලීමටවත් තමාට සසිකලාගෙන් අවසරයක් හිමි නොවූ බවය.

ජයලලිතාගෙන් පසුව දකුණු ඉන්දියාවේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ ඕ. පනීර්සෙල්වම් පසුගිය 5 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

නමුත්, ජනතා කැමැත්ත තමා නම්, යළිත් මහ ඇමතිවරයා ලෙස වැඩ භාරගැනීමට තමා සූදානම් බවද මාධ්‍ය ඉදිරියේදී පනීර්සෙල්වම් පවසා සිටියේය.

"මට සත්‍යය ජනතාවට කියන්න අවශ්‍යයි. මම දිගටම තරග කරනවා. ජනතාව ඉල්ලා සිටින්නේ නම් මාගේ ඉල්ලා අස්වීම අහෝසි කිරීමට මා සූදානම්."

මේ අතර, සසිකලාගේ පාර්ශ්වයෙන් පනීර්සෙල්වම් වෙත චෝදනා එල්ල වූයේ ඔහු ඩී.එම්.කේ. පක්ෂය සමග ඩීල් දමා ඇති බවටය. තමිල්නාඩුව පුරා හමා යන මේ දේශපාලන කුණාටුව සමග ඩී.එම්.කේ පක්ෂයද ඇති පදමට සසිකලා වෙත පහරපිට පහර දෙමින් සිටියි.

එමෙන්ම, ඉන්දියාවේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි ද, සසිකලාගේ දේශපාලන ගමන දියාරු කිරීමේ මෙහෙයුම පසුපසට සිටින බවට ඇගේ පාර්ශ්වයෙන් චෝදනා එල්ල වී තිබේ.

මේ අතර, ජයලලිතා සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධ නඩුවේ තීන්දුවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, යම් ලෙසකින් මෙම තීන්දුවෙන් ජයලලිතා වැරදිකරු වුවහොත්, ඇය සමගම ඇගේ සමීප යෙහෙළිය ලෙස එම නඩුවේ චූදිතයෙකු වූ සසිකලාටද වසර 6කවත් සිර දඬුවමක් නියම වනු ඇත. එමෙන්ම, ඇයට කිසිදු දේශපාලන නිලයක් දැරීමටද නොහැකි වනු ඇත.

කෙසේ වෙතත්, ප්‍රාන්ත රජය තුළ තමාට ඇති බහුතරය පෙන්වීමට ඕ. පනීර්සෙල්වම් දක්ෂ වුවහොත් යළි මහ ඇමති පුටුවට පැමිණීමට ඔහුට හැකිවනු ඇති අතර, එසේ නොවුණහොත් මහ ඇමති ලෙස දිවුරුම් දෙන ලෙස සසිකලාට ආරාධනා කිරීමට තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට සිදුවනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 February 2017 09:24