May 05, 2024

තුර්කියේ පාපන්දු ක්‍රීඩාංගණයක් අසල බෝම්බ ප්‍රහාරයක්

December 11, 2016

තුර්කියේ, ඉස්ථාන්බුල් නුවර පාපාන්දු ක්‍රීඩාංගණයක් ආසන්නයේ ප්‍රබල පිපිරීම් දෙකක් සිදුව තිබේ.

මෙම බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයින් 29 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 160කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෝටර් රථයක ඇටවූ බෝම්බයක් සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මෙලෙස එල්ල කර ඇති අතර පොලිස් නිලධාරීන් ඉලක්ක කර ප්‍රහාර  එල්ල කරන්නට ඇති බවට තුර්කි බලධාරීහු විශ්වාසය පළ කරති.

සිද්ධිය ඇසින් දුටවන් විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, පිපිරීම්වලින් පසු වෙඩි ප්‍රහාර ද එල්ල වූ බව ය.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ, බෙසික්ටස් ක්‍රීඩාංගණයේ පාපන්දු තරගය අවසන් වී පැය දෙකකට පමණ පසුව ය.

මේ වන තෙක් ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්ත කණ්ඩායමක් භාර ගෙන නොමැති අතර කෙසේ වෙතත් මේ දක්වා තුර්කියට ත්‍රස්ත ප්‍රහාර එල්ල කළේ, කුර්දි සටන්කාමීන් සහ IS සටන්කාමීන් ය.

පසුගිය සමයේ දිගින් දිගට ම තුර්කියේ ප්‍රධාන නගර ආශ්‍රිතව ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අතර ඉන් පුද්ගලයින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

මේ අතර කුර්දි සටන්කරුවන් නිරන්තරව ආරක්ෂ අංශ ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බැවින් ‍මෙම ප්‍රහාරය ද කුර්දි සටන්කාමීන් එල්ල කරන්නට  ඇති බවට විශ්වාසය පළ කෙරේ.

තුර්කි ජනාධිපති රිසෙප් ටෙයිප් ඒඩගොන් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, සිය ආරක්ෂක නිලධාරීන් සහ ජනතාව ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඇති බව ය.

පසුගිය අගෝස්තු 20 වන දා තුර්කියේ විවාහ මංගල උත්සවයකට එල්ල වූ IS ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ජුනි 29 වනදා ඉස්ථාන්බුල් ගුවන්තොටුපොළට වෙඩි සහ බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් පුද්ගලයින් 41 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර මෙම ප්‍රහාරයේ වගකීම IS සටන්කාමීන් විසින් භාර ගනු ලැබිණ.

මාර්තු 13 වන දා ද තුර්කියේ අන්කරා නගරයට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් පුද්ගලයින් 37 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 11 December 2016 11:31