May 05, 2024

බ්‍රිතාන්‍යය ඉවත් වුවත්, ස්කොට්ලන්තය යුරෝපා සංගමය තුලට

යුරෝපා සංගමය තුල ස්කොට්ලන්තයට හිමි ස්ථානය රැක ගැනීම පිණිස බ්‍රසල්ස් හි බලධාරීන් සමග වහාම සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුව වන බව ස්කොට්ලන්තයේ මහ ඇමතිනී නිකොලා ස්ටර්ජන් (Nicola Sturgeon) පවසන්නීය.

යුරෝපා හවුල තුළ ස්කොට්ලන්තයට හිමි ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා එවැනි ක්‍රියාමාර්ගයකට යන බව මහ ඇමතිවරිය පවසයි.

ඇය එම ප්‍රකාශය කළේ පසුගිය 23 වැනිදා පැවැත්වුන ජනමත විචාරණයේ දී බ්‍රිතාන්‍ය බහුතර ජනතාව යුරෝපා හවුලෙන් ඉවත් වීමට තීන්දු කිරීමෙන් පසුවයි.

එහෙත් එම ජනමත විචාරණයේ දී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුල රැඳී සිටීම වෙනුවෙන් ස්කොට්ලන්ත ජනතාවගෙන් අති බහුතරය ඡන්දය භාවිතා කොට තිබිණි.

ඉහත කී ප්‍රතිඵලයෙන් අනතුරුව තවදුරටත් අදහස් දක්වමින් මහ ඇමතිනී නිකොලා ස්ටර්ජන් පැවසුවේ ස්කොට්ලන්තයට බ්‍රිතාන්‍ය පාලනයෙන් වෙන්වීම සඳහා වූ දෙවන ජනමත විචාරණයක් වෙනුවෙන් නීති සම්පාදනය කිරීමට සිය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි.

සිය භූමියේ ජනතාව යුරෝපා හවුල තුළ රැඳී සිටීම වෙනුවෙන් ඡන්දය දී ඇති හෙයින් යුරෝපා සංගමයෙන් ඉවත් වන ලෙස ස්කොට්ලන්තයට බල කිරීමට බ්‍රිතාන්‍යයට නොහැකි බවත් ඇය කියා සිටින්නීය.

(බීබීසි සංදේශය)

Rate this item
(0 votes)