April 26, 2024

අතුරදන් වූ යානයේ සිටි මගීන්ගේ දුරකතන ක්‍රියාත්මකයි 

දැනට අතුරුදන් ව ඇති MH 370 ගුවන් යානයේ සිටි මගීන් අතරින් සමහරුන්ගේ ජංගම දුරකතන සහ ස්මාර්ට් ෆෝන් තවමත් ක්‍රියාත්මක ව ඇතැයි වාර්තා වේ.

අතුරුදන් වූ 19 දෙනකුගේ දුරකතන එලෙස නාද වී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදන් වී දැනට දින 04ක් ඉක්ම යනවිට ගුවන් යානය පිළිබඳ කිසිම තොරතුරක් සොයා ගැනීමට හැකි වී නොමැත. 

චීන සමාජ වෙබ් අඩවියක්වන ශ්‍රී ශ්‍රී ජාලයේ එම දුරකතන ක්‍රියාත්මක ව පවතින ආකාරය දැක්වෙන බව වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබේ.

කෙසේ වුව ද මේ ආකාරයෙන් ක්‍රියාත්මක ව පැවති තම බෑනාගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් යැවූ එක්තරා පුද්ගලයකු ප්‍රකාශ කරන්නේ ඒ සඳහා ප්‍රතිචාරයක් නොලැබුණු බවයි. 

මේ ආකාරයෙන් ජංගම දුරකතන ක්‍රියාත්මක ව පවතීයි නම් නවීන තාක්ෂණයක් යොදාගෙන ඉතා පහසුවෙන් ගුවන් යානය ඇති ස්ථානය සොයා ගත හැකි යැයි මලයාසියානු ගුවන් සේවයේ නිලධාරීහු විශ්වාසය පළ කරති. 

මේ අතර ගුවන් සේවය යානයේ සිටින තම කාර්ය මණ්ඩලයේ ජංගම දුරකතනවලට ඇමතුම් ලබා ගැනීමේ උත්සාහයක නිරත වී සිටියි. 

මේ වනවිට ක්‍රියාත්මක වේ යැයි පැවසෙන ජංගම දුරකතන අංක සියල්ල චීන බලධාරීන් වෙත ලබා දී තිබේ. ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් වාර්තා කරන පරිදි සජීවී රූපවාහිනි වැඩසටහනක දී අතුරුදන් වූ පුද්ගලයෙකුගේ සහෝදරියක දුරකතනය නාද කර කතා කිරීමේ උත්සාහයක නිරත වී තිබේ.

කෙසේ වෙතත් බීජිං නුවර දී පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වූ මලයාසියානු ගුවන් සේවයේ ප්‍රකාශකයාවන ඉස්නේෂස් ඩන්ග් පැවැසුවේ තම මූලස්ථානයට ලැබුණු දුරකතන අංක රැසක් වරින් වර අමතා බැලුව ද ඒ එකක්වත් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවයි. 

මේ අතර යානය සෙවීමේ කටයුතු ගොඩබිම හා මලයාසියාවේ බටහිර මුහුදු ප්‍රදේශයවන මලක්කා සමුද්‍ර සන්ධියට ව්‍යාප්ත කර තිබේ.

යම් ලෙසකින් යානය සතු ව තිබූ ඉන්ධන අවසන් වීමෙන් එය ඇද වැටීමට ඉඩ තිබූ බවට මතයක් ද මේ අතර ඉදිරිපත් වී ඇත. 

කෙසේ වුව ද චන්ද්‍රිකා ඡායාරූප ඉතා සියුම් විශ්ලේෂණයක් සිදු කර ඇති ආරක්ෂක අංශ පවසන්නේ ප්‍රහාරයක් එල්ල වීමෙන් පිපිරීමක් වූ බවට කිසිම සාක්ෂියක් නොමැති බවයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 12 March 2014 12:23