May 03, 2024

අමෙරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධයක්

උතුරුදිග යුරෝපයේ හමුදා ක්‍රියාකාරකම් ගොඩනැංවීම පිළිබඳ අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා රුසියාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඒ, රුසියාවේ අසල්වැසි නෝර්ඩික් රාජ්‍යයන්වන ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ෆින්ලන්තය, ස්වීඩනය සහ නෝර්වේ යන රටවල නායකයන් සමග ධවල මන්දිරයේ පසුගිය දා පැවැති සාකච්ඡාවක දී ය.

යුරෝපයේ කුඩා රාජ්‍යයන් විශාල රටවල බලපෑමට ලක් නොවිය යුතු බවට එම රටවල් සමග අමෙරිකා එක්සත් ජනපදය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වේ.

විශේෂයෙන් බෝල්ටික් මුහුදු ප්‍රදේශයේ රුසියාව සිදුකරන නාවික සහ ගුවන් මෙහෙයුම් පිළිබඳ නේටෝ සංවිධානය සහ අමෙරිකාව අවධානය යොමු කර ඇත.

මේ අතර රුමේනියාවේ ස්ථානගත කළ අමෙරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතිය සක්‍රිය කිරීම පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා දැඩි ප්‍රතිචාරයක් පළ කර තිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන 800ක් පමණ වැය වූ මෙම මිසයිල පද්ධතිය රුසියානු දේශසීමා රාජ්‍යයක් වූ රුමේනියාවේ සක්‍රිය කෙරුණේ ඉකුත් 12 වැනි දා ය.

මැදපෙරදිග කලාපයෙන් එල්ලවන තර්ජනවලට මුහුණදීම සඳහා මෙම පද්ධතිය සවි කළ බව නේටෝ සංවිධානය ප්‍රකාශ කරයි.

එහෙත් එය රුසියාවට එල්ලවන තර්ජනයක් ලෙස සලකමින් ජනාධිපති පුටින් කියා සිටියේ එවැනි තර්ජන සමනය කිරීමට තම රටට හැකියාවක් ඇති බවයි.

සිරියාවේ රුසියානු හමුදා මෙහෙයුම් පිළිබඳ මෙන් ම යුක්රේනයට අයත් ක්‍රියිමියාව, රුසියාවට ඈඳා ගැනීම පිළිබඳ රුසියාව සහ බටහිර ලෝකය අතර පවතින්නේ දැඩි මතභේදයකි.

අමෙරිකානු - රුසියානු සබඳතා මේ වනවිට දෙවන ලෝක යුද්ධයෙන් පසු දුර්වලම මට්ටමක පවතින බව විචාරකයන් පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)