April 27, 2024

බ්‍රසල්ස් නුවර ප්‍රහාරය එල්ල කළ ISIS ත්‍රස්තයින් දැක්වෙන ඡායාරූපයක් මාධ්‍යට 

ඊයේ (22) බෙල්ජියමේ බ්‍රසල්ස්හි ස්වෙන්ටම් ගුවන්තොටුපොළට එල්ල වූ මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තයින් බවට සැක කෙරෙන පුද්ගලයින් තිදෙනෙකු දැක්වෙන ඡායාරූපයක් එරට පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කර තිබේ.

ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව බෙල්ජියන් පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

එහෙත් එම ඡායාරූපයේ දැක්වෙන ලා පැහැති කබායකින් හැඳ තොප්පියක් පැළඳ සිටින සැකකරු ප්‍රහාරයෙන් අනතුරු ව පලා ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට එරට පොලීසිය ඔහු සෙවීම සඳහා මෙහෙයුමක් දියත් කර තිබේ.

ඊයේ පෙරවරුවේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ප්‍රධාන ගුවන්තොටුපොළවන සවෙන්ටම් ගුවන්තොටුපොළට සහ දුම්රිය ස්ථාන ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල විය.

ප්‍රහාරයන්ගෙන් පුද්ගලයින් 34 දෙනෙකු මරණයට පත් වූ අතර තවත් 170කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

ගුවන්තොටුපොළ තුළ පිපිරීම් දෙකක් සිදු වූ අතර ඉන් පළමු ප්‍රහාරය එල්ල වූයේ එහි පිටවීමේ පර්යන්තයේ දී ය. ප්‍රහාරයෙන් පසු එම ස්ථානයේ තිබී තවත් බෝම්බයක් ද සොයා ගෙන තිබේ.

එම ප්‍රහාර පිළිබඳ රටවල් රැසක ප්‍රධානීන් බෙල්ජියම් රජය වෙත සිය ශෝකය පළකර තිබේ.

 

Rate this item
(0 votes)