May 13, 2024

සීතාට සැළකුවේ නැතැයි රාමාට නඩු

February 10, 2016

ඉන්දීය නීතීඥවරයෙකු වන චන්දන් කුමාර් සිං බොහෝ ඉන්දියානුවන් මවිතයට පත් කරමින් ප්‍රසිද්ධ හින්දු දෙවි රාම්ට එරෙහිව නඩුවක් පවරා තිබේ.

රාම් සිය බිරිඳ සීතා දේවියට ගෞරවයෙන් නොසැලකු බව තමන් විශ්වාස කරන බව පැවසූ නීතීඥවරයා කියාසිටියේ නැගෙනහිර බිහාරයේ අධිකරණයට මේ කරුණ නිල වශයෙන් ඉදිරිපත් කිරීම සිය අදහස වූ බවය.

කෙසේ වෙතත් අධිකරණය ඔහුගේ තර්කය පිළිනොගත් අතර මෙම නඩුව ප්‍රායෝගික නොවන බව පවසමින් බැහැර කරනු ලැබීය.

ඊට අමතරව නීතීඥ චන්දන් සිං සමග සේවයේ යෙදෙන මිතුරන් පිරිසක් ඔහු මෙම නඩුව පවරා ඇත්තේ හුදෙක් ප්‍රසිද්ධිය ලබා ගැනීමේ අරමුණෙන් බව පවසති.

නීතීඥ චන්දන් සිං රාම දෙවියන්ට අපහාස කළ බව පවසමින් ඔහුගේ මිත්‍ර නීතීඥයන් කණ්ඩායම ඔහුට එරෙහිව නඩුවක් ද පැවරීමට පියවර ගෙන තිබේ.

සිය නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් වන දැඩි විවේචන හමුවේ පීඩාවට පත්ව සිටින නීතීඥ චන්දන් සිං තවමත් සිය නඩුව නීත්‍යනුකූල බව විශ්වාස කරමින් මෙසේ ප්‍රකාශකර සිටියේය.

"මේක ඉතා ප්‍රසිද්ධ කරුණක්. ලංකාපුරයේ රාවනා රජුගේ පැහැර ගැනීමට ලක් වෙලා හිටපු සීතා දේවිය බේර ගත්තු රාම ඇයගෙන් ඇහුව ඇය තවමත් පති වත රකින පිරිසිදු කාන්තාවක් ද කියලා. ඔහු ඇයට කිව්වා තමන්ගේ පාරිශුද්ධත්වය ඔප්පු කරන්න කියලා. රාම සීතාව විශ්වාස කළේ නැහැ."

කාන්තාවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීම වැරැද්දක්දැයි ප්‍රශ්න කරන චන්දන් කුමාර් සිං පවසන්නේ ඉදිරිපත් කළ නඩුව විභාග කළ යුතු බව අධිකරණය තීරණය කළේ නම් කාන්තාවන්ට ගෞරව කළ යුතු බවට සුභවාදී පණිවුඩයක් ඉන්දියානුවන් අතර පැතිරෙන්නට ඉඩ තිබූ බවයි.

තමනුත් රාම දෙවියන්ව අදහන බව පවසන ඔහු කියා සිටියේ තමන් යම් හින්දු භක්තිකයෙකුගේ හිත රිදෙව්වා නම් සමාව ඉල්ලා සිටින නමුත් රාම දෙවියන් සීතාට අගෞරව කිරීම නොසලකා හැරිය යුතු කරුණක් ලෙස තමන් නොදකින බවයි.

(BBC)

Rate this item
(0 votes)