May 17, 2024

'සෝඩිලෝ' චණ්ඩමාරුතයෙන් තායිවානයට දැඩි හානි

'සෝඩිලෝ' (Soudelor) චණ්ඩමාරුතය තායිවානය හරහා හමායමින් තිබෙන අතර මේ වනවිට පුද්ගලයන් සිව්දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැයට කිලෝමීටර් 230ක වේගයෙන් හමායන චණ්ඩමාරුතයෙන් ගස් ඉගිලී යාමෙන් ගොඩනැගිලිවලට අලාබහානි සිදු වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම් සහ නායයාම් හටගෙන ඇතැයි වාර්තාවේ.

තායිවානය පුරා දුම්රිය සේවා සහ ගුවන් ගමන් අවලංගු කොට ඇති අතර සියලුම කාර්යාල සහ පාසල් වසා දමා තිබේ.

මිලියන දෙකක් නිවාසවල විදුලි බලය විසන්දි වී ඇති අතර තායිවාන බලධාරීන් විසින් දහස් ගණන් වැසියන් සිය නිවෙස්වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර චණ්ඩමාරුතයට මුහුණ දීම සඳහා චීනයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ බලධාරීහු දස දහස් ගණන් ජනතාව ආරක්ෂක ස්ථාන කරා ගෙන යමින් සිටිති.

එක්ලක්ෂ පනස්දහසකට වැඩි පිරිසක් ෆුජියාන් ප්‍රාන්තයේ කඳුකර පෙදෙස් කරා ගෙනගොස් සිටින බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි.

එසේම ඒ අවට පිහිටි දූපත් වල ජීවත්වන වැසියන්ද උස් ගොඩබිම් ප්‍රදේශ කරා ගෙනැවිත් සිටින බව චීන මාධ්‍ය ප්‍රකාශ කළේය.

(බීබීසි)

 

Rate this item
(0 votes)