May 17, 2024

දකුණු කොරියානු ඔත්තුකරුවෙකු සියදිවි නසා ගනී

දුරකථන සංවාදවලට රහසේ සවන් දීම හා සම්බන්ධ දකුණු කොරියානු දේශපාලන අර්බුදය මධ්‍යයේ එරට ජාතික ඔත්තු සේවයේ පුද්ගලයකු සිය දිවි නසා ගෙන තිබේ.

දකුණු කොරියානු ජාතික ඔත්තු සේවය වෙනුවෙන් රාජකාරි සිදු කළ මරණයට පත් පුද්ගලයාගේ සිරුර කඳුකර මාර්ගයක් අසල නවතා තිබූ ඔහුගේ කාරය තුළ තිබියදී සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

ඔහු සිය දිවි හානි කොට ගෙන ඇතැයි පෙනී යන බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම මරණය සිදු වූයේ දුරකථන සංවාදවලට රහසේ සවන් දුන් බවට නැගෙන චෝදනා හා සම්බන්ධ දේශපාලන අර්බුද මධ්‍යයේයි.

රහසේ සවන් දුන් දුරකථන සංවාදවලට සම්බන්ධ වැදගත් තොරතුරු තමා විසින් විනාශ කරනු ලැබූ බව මිය යෑමට මත්තෙන් තබා ගිය සටහනක් මාර්ගයෙන් ඔත්තුකරු පිළිගෙන තිබේ.

මේ අතරතුර දෙදහස් දොළහ වසරේ පැවති ජනාධිපතිවරණයට පෙර ජංගම දුරකථන ඇමතුම් නිරීක්ෂණය කිරීම සහ සංවාදවලට රහසේ සවන් දීම පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතියි.

සංවාදවලට රහසේ සවන් දුන් බවට දකුණු කොරියානු විපක්ෂය නගන චෝදනා එරට ආණ්ඩුව සහ දකුණු කොරියානු ජාතික ඔත්තු සේවය ප්‍රතික්ෂේප කරන බවයි සෝල් අගනුවර සිටින බීබීසී වාර්තාකරු ස්ටීව් එවන්ස් කියා සිටියේ.

දෙදහස් දොළහ වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බලපෑම් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් දකුණු කොරියානු ජාතික ඔත්තු සේවයේ හිටපු ප්‍රධානියාට මීට ඉහතදී වසර තුනක සිර දඬුවමක් නියම වූ අතර ඒ සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් සිදු කිරීමට දකුණු කොරියානු ශ්‍රේෂ්ඨාධිකරණය පසු ගියදා නියෝග කළේය.

‘ජංගම දුරකථන සංවාදවලට රහසේ සවන් දීමට සහ ඇමතුම් පිළිබඳ නිරීක්ෂණය කළ හැකි ඉතාලි සමාගමක් විසින් සකසන ලද මේ මෘදුකාංගය දෙදහස් දොළහ වසරේදී ජාතික ඔත්තු සේවය විසින් මිළදී ගෙන තිබෙනවා’ සෝල් අගනුවර සිටින බීබීසී වාර්තාකරු සඳහන් කළේය.

උතුරු කොරියාවෙන් ආරක්ෂා වීම පිණිස මෙම මෘදුකාංගය මිළදී ගත් බව බලධාරීහු පවසති.

උතුරු කොරියාව සමග සබඳතා පවත්වන පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමේ අරමුණින් පමණක් ජංගම දුරකථන ඇමතුම් දෙස විමසිල්ලෙන් පසු වූ බව සිය ලියවිල්ල හරහා සිය දිවි නසා ගත් පුද්ගලයා අවධාරණය කොට ඇතැයි බීබීසී වාර්තාකරු ස්ටීව් එවන්ස් වැඩිදුරටත් කියා සිටියේය.

විරුද්ධ පාක්ෂිකයන්ට අවැඩක් සිදු කිරීම එහි අරමුණ නොවූ බවයි මිය ගිය බුද්ධි අංශ සේවකයා පවසා ඇත්තේ.

අසූව දශකයේදී දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට අවතීර්ණ වීමට මත්තෙන් පැහැර ගෙනීම් සහ ඝාතනවලට සම්බන්ධව සිටි බවට ජාතික ඔත්තු සේවයට චෝදනා එල්ල විය.

වර්තමානය වන විට දකුණු කොරියානු ජාතික ඔත්තු සේවයට එවැනි බරපතල අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල නොවන නමුත් මැතිවරණවලට අනවශ්‍ය ආකාරයෙන් කරනු ලබන අත පෙවීම් වැනි අර්බුද කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වේ.

දකුණු කොරියානු ජාතික ඔත්තු සේවය දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ නොවන බවට චෝදනා කරන එරට විපක්ෂයේ දේශපාලනඥයින් වර්තමාන ජනාධිපතිවරයා එය දේශපාලන පලිහක් ලෙස යොදා ගන්නා බවයි පවසන්නේ.

දෙදහස් දොළහ වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බලපෑම් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් දකුණු කොරියානු ජාතික ඔත්තු සේවයේ හිටපු ප්‍රධානී වොන් සෙයි හූන්ට මීට ඉහතදී වසර තුනක සිර දඬුවමක් නියම කෙරිණි.

නමුත් ඒ සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් සිදු කිරීමට දකුණු කොරියානු ශ්‍රේෂ්ඨාධිකරණය පසු ගියදා නියෝග කළේය.

- BBC

Rate this item
(0 votes)