May 02, 2024

ගෝලීය උණුසුම කෙරෙහි පාප් වහන්සේගේ අවධානය

පෙට්‍රෝලියම් ආදී ෆොසිල ඉන්ධන දහනය අවම කිරීමට හැකි වන පරිදි සංවර්ධිත රටවල්වල වැසියන් තම ජීවන හා පරිභෝජන රටාවන් වෙනස් කරගත යුතු බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරයි.

උන්වහන්සේ මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ රදගුරුවරුන් වෙත යැවූ පිටු 192කින් යුතු ලිපියකින් බව සඳහන් වේ.

කතෝලික සම්ප්‍රදායන්ට අනුව පාප් වහන්සේ කෙනෙකු මෙවැනි ලිපියක් ඉදිරිපත් කරන්නේ ඉතාම වැදගත් උපදේශන සඳහා පමණි.

මිහිතලය උණුසුම්වීමට මිනිස් ක්‍රියාකාරකම් දැඩි ලෙස හේතු වී ඇති බව පෙන්වා දී ඇති පාප් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ ඇමේසන් වනාන්තරයේ ජෛව විවිධත්වයට සිදු වන හානි පිළිබඳවත්, උත්තර සහ දක්ශිණ ද්‍රැවවල ග්ලැසියර දියවී යාම පිළිබඳවත් තම දැඩි අවධානය යොමුව ඇති බව යි.

ජගත් පරිසරවේදීහු විශ්වාස කරන ආකාරයට පාප්වහන්සේගේ මෙම අදහස් දැක්වීම, ලබන දෙසැම්බර් මාසයේ පැරිස් නුවර දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ කාලගුණික සමුළුව සඳහා සුබවාදී බලපෑමක් ඇති කරනු ඇත.

මේ අතර ඇමරිකාවේ කොන්ස්ර්වෙටිව් පාක්ෂික ජනාධිපති ධුර අපේක්ෂකයින් වන ජෙබ් බුෂ් සහ රික් සන්ටෝර්ම් යන දෙදෙනාම ප්‍රශ්ණ කොට ඇත්තේ කාලගුණ විද්‍යාව පිළිබඳ අදහස් දැක්වීමට පාප් වහන්සේට ඇති සුදුසුකම කවරක් ද යනුවෙනි.

එහෙත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ භු පද්ධතීන් පිළිබඳ මහාචාර්ය මයිල්ස් ඇලන් අදහස් දක්වා ඇත්තේ පාප් වහන්සේට මතු පරපුර වෙනුවෙන් අදහස් දැක්වීමට අයිතියක් තිබෙන බවට යි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 19 June 2015 09:20