May 17, 2024

ඉරාන න්‍යෂ්ටික අර්බුදය නොවිසඳෙන ලකුණු

 

රුසියාවේ ටාස් ප්‍රවෘත්ති සේවය සඳහන් කරන අන්දමට න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධව ඉරානය සහ ලෝක බලවතුන් අතර කෙරෙන සාකච්ඡාවල එකඟතාවයක් ඇති කර ගැනීම තව දුරටත් අවිනිෂ්චිත තත්වයක තිබේ.
 
වියනා නුවර ඊයේ (12) පැවැති සාකච්ඡාවලදී ද සැලකිය යුතු ප්‍රගතියක් අත් වී නොමැති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා ද ටාස් ප්‍රවෘත්ති සේවයෙහි සඳහන් විය.
 
එළඹෙන ජුනි 30 වන දා ඉරානය සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාවක් ඇති කර ගැනීමේ කාලවිරාමය අවසන් වන අතර, මෙම සාකච්ඡාවලට සම්බන්ධ වී සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය යන රටවල් ය.
 
න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත්හිටුවීම සහ ඒ වෙනුවට ඉරානය වෙත පැනවූ සම්බාධක ඉවත් කිරීමට මෙම සාකච්ඡාවල දී අවධානය යොමු වේ.
 
එහෙත් ජුනි 30 වන දාට පෙර ඒ සඳහා එකඟත්වයක් ඇති කර ගැනීම තාක්ෂණික හේතූන් මත කල් යා හැකි බව ටාස් ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් විය.
 
ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන මගින් න්‍යෂ්ටික අවි බලය ඇති කර ගැනීමට උත්සාහ කරන බවට බටහිර රටවල් චෝදනා කරන අතර එම චෝදනා ප්‍රතික්ෂේප කරන ඉරානය දිගින් දිගටම කියා සිටින්නේ න්‍යෂ්ටික බලශක්තිය, විදුලි උත්පාදනය ඇතුළු සාමකාමී කටයුතු සඳහා යොදා ගැනීම තම අරමුණ බව යි. 
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 13 June 2015 10:43