May 17, 2024

සාගර පතුලේ පිපිරූ තෙල් නලයෙන් දැඩි හානි

ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සාන්ත බාබරා හි වෙරළාසන්නයේ වු බොරතෙල් නලයක් පසුගිය අඟහරුවාදා පිපිරිගොස් තෙල් ගැලුම් 100000 ක් පමණ පැසිපික් සාගරයට එක්වීමෙන් විශාල පරිසර හානියක් මෙන්ම එහි වෙසෙන සත්ව විශේෂයනටද බරපතල හානි සිදු වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පුපුරාගිය තෙල් නලය මගින් පැයකට තෙල් බැරල් 1300 ක් පොම්ප කර ඇත.

මෙම තෙල් තට්ටුව ඉවත් කිරීම සඳහා 1700 ක පිරිසක් යොදවා තිබේ. වාර්තාවල දැක්වෙන්නේ පොකිරිස්සන් අති විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති අතර ,මුහුදු පැලෑටි විශාල සංඛ්‍යාවක් ද විනාශයට පත්ව ඇති බවයි. මියගිය සත්වයින් අතර කරවැල්කොකුන් හය දෙනෙක් සහ යෞවන වියේ සිටින මුහුදු සිංහයෙක්ද වන බව සත්වවේදිහු පවසති.

ඇමරිකානු වෙරළාරක්ෂක බලකායේ කපිතාන් ජෙනිෆර් විලියම්ස් පවසන්නේ  සාගරයට එකතුවි ඇති තෙල් ප්‍රමාණය ඉවත් කිරීම සඳහා යාත්‍රා 17 ක් යොදවා ඇති බවයි.  සාගර ජලයේ ඇති දියවැල් ස්වභාවය සහ සුලං ප්‍රවාහය හේතුවෙන් මෙම කටයුත්ත ඉක්මනින් අවසන් කිරීමට නොහැකි වි ඇතැයිද හෙතෙම පවසා තිබේ.

කැලිෆෝර්නියාවේ පලමු තෙල් කාන්දුව සිදුවි ඇත්තේ 1969 වසරේදීය. ඒ අවස්ථාවේදී විශාල විනාශයක් සිදුවි ඇති අතර කැලිෆෝර්නියා වෙරළ තිරය ආරක්ෂාකර ගැනීම සඳහා අලුතින් කොමිසමක් ද පත් කර තිබිණි.  

මෙම තෙල් කාන්දුව සිදුවි ඇත්තේ කැලිෆෝර්නියාවේ සමර්ලැන්ඩ් වෙරළ තිරයට සැතපුම් 5 ක් දුරින් පිහිටුවා තිබු යුනියන් තෙල් ලිඳෙනි. මේ අවස්තාවේදී තෙල් ගැලුම් මිලියන 3 ක් පමණ සාගරයට කාන්දු වි තිබේ. තෙල් නලය පුපුරාගොස් ඇත්තේ සාගර පත්ලේදීය. මෙම හේතුවෙන් මුහුදු පක්ෂීන් දහස් ගණනක් හා ගණනය කල නොහැකි මත්‍යසයන් ප්‍රමාණයක් මියගොස්  ඇති බව වාර්තා වි තිබේ.

Rate this item
(0 votes)