May 19, 2024

අන්තර්ජාල ඔත්තු බැලීමට බුද්ධි අංශවලට අවසර? 

ඉස්ලාමීය ත්‍රස්තවාදීන් අල්ලා ගැනීම සඳහා බුද්ධි තොරතුරු රැස් කිරීමට වැඩි ඉඩකඩක් ලබා දෙන නව නීති ප්‍රංශ පාර්ලිමේන්තුවේ අති බහුතර ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාල සේවා සැපයුම් ආයතන සතු දත්ත ලබා ගැනීම සඳහා බුද්ධි අංශවලට නව නීති හරහා ඉඩ ලැබෙනු ඇති අතර මේ අනුව අන්තර්ජාලය හරහා කෙරෙන පණිවිඩ හුවමාරු සහ ඒවා සිදු වෙන ස්ථාන පිළිබඳව නිරීක්ෂණය කිරීමට බුද්ධි අංශවලට අවසර ලැබෙන බව වාර්තා වේ.

මෙම නව නීති හරහා ජනතාවගේ පෞද්ගලිකත්වයට ඇති නිදහස උල්ලංඝණය විය හැකි බවට විවේචකයෝ අනතුරු අඟවා සිටිති.

පැරිසියේ පුවත්පත් කාර්යාලයකට සහ සුපිරි වෙළඳ සැලකට ප්‍රහාරයන් එල්ල වී සිව් මසකට පමණ පසුව ප්‍රංශ බලධාරීන් මෙම පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව නීතිවලට පක්ෂව ඡන්ද හාරසීය තිස් අටක් ලැබුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැට හය දෙනෙක් ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළහ.

මෙම පනත ඉහල මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී ද එය සම්මත වනු ඇති බව විශ්වාස කරයි.

(බීබීසි)

 

Rate this item
(0 votes)