April 27, 2024

ජාතික ගීය දෙමළෙන් ගැයීම ව්‍යවස්ථා විරෝධීය

ඉන්දියාව ජාතීන් තුන්සියයකට වැඩිය සිටින භාෂා දෙසියකට වඩා කතා කරන ප්‍රාන්ත 29 කින් සමන්විත අරුම පුදුම බහුවාර්ගික, බහු ආගමික රාජ්‍යයකි. ප්‍රධාන බස හින්දි බසය. එහෙත් ඉන්දීය ජාතික ගීය ලියැවී තිබෙන්නේ ගැයෙන්නේ බෙංගාලි බසිනි. ඒ මහා සාහිත්‍යධර රබින්දනාත් තාගෝර් විසින් රචිත "ජන ගන මන අදි නායක" ජාතික ගීයයි.ඉන්දියාව පුරාම බෙදුම්වාදී අරගල පවතී. ඇසෑමය, නාගලන්තය මෙන්ම කාශ්මීරයේ පවතින බෙදුම්වාදී අරගලයන් ඉන් ප්‍රධාන වේ. එහෙත් ඒ කිසිදු ප්‍රාන්තයක අවම තරමින් බෙදුම්වාදී සටන්කාමීන්වත් ජාතික ගිය තමන්ගේ බසින් ගායනා කළ යුතු යැයි ඉල්ලා නැත. ඒ රටකට තිබෙන්නේ එක ජාතික ගීයක් වන බැවිනි.

ඉන්දියාව ගැන කතා කළේ අපේ උතුරේ සුපුරුදු අන්තවාදී, බෙදුම්වාදී හා අවස්ථාවාදී දෙමළ නායකයින් පිරිස දැන් අපේ ජාතික ගීය අල්ලාගෙන ගෙන යන අරගලය නිසාය. අපේ රටේ ප්‍රධානතම ජාතික උත්සවයක්‍ වන පෙබරවාරි 4 වැනිදා පැවැත්වෙන නිදහස් උත්සවය දා ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට නව ආණ්ඩුව තීන්දු කොට තිබේ.එය උතුරේ ජනතාවට ප්‍රශ්නයක් වී තිබෙන බව නම් අසන්නට නොමැත. එහෙත් එය එහි දෙමළ දේශපාලන නායකයින්ට නම් ප්‍රශ්නයක් වී තිබෙන බව පෙනෙන්නට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් පවසන්නේ දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීම නැවැත්වීමට රජය ගත් තීරණය දෙමළ ජනතාව ‍ශ්‍රි ලාංකික ජාතිකත්වයෙන් ප්‍රතික්ෂේපිත ජාතියක් කිරීමේ තවත් එක් අංගයක් බවටය.

2015 ජනාධිපතිවරණයේ දී යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ප්‍රථම වරට ඒ වසරේ පැවති ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් ගායනා කරනු ලැබූ බවත් එම උත්සවයට සම්පන්ධන්   මහතා හා තමන් සහභාගි වූයේ දශක ගණනාවකට පසුව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.මේ නිසා එළඹෙන ජාතික දින උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට රජය කටයුතු කිරීම ජාතීන් අතර සංහිඳියාව හා සමගිය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයේ නිරත වනවා වෙනුවට එම උත්සාහයට පටහැනි ක්‍රියාපිළිවෙතක කටයුතු කිරීමක් බවද සුමන්දිරන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

2015 බිහි වූ යහපාලන ආණ්ඩුව ආතක් පාතක් නැති ආණ්ඩුවකි. ඒ බව අද ඔප්පු වී තිබේ. යහපාලනය තුළ ගත් බොහෝ තීන්දු මෙරට පැවැත්මට විශාල තර්ජනයක් එල්ල කරමින් තිබේ. දහ නව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉන් එකකි. යහපාලනය ගෙන ඒමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කිරීමට දෙමළ ජාතික සන්ධානය උපරිම සහායක් දුනි.යහපාලනයේ ගුණ වයන සුමන්තිරන් කියන ආකාරයට 2015ට පෙර ජාතික ගීය දෙමළ බසින් ගායනා කර නොමැත. එය නිවැරදිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන උත්සවයකදී දෙමළෙන් ජාතික ගීය ගැයීමේ කිසිදු ප්‍රතිපාදනයක් නොමැත. එසේ කරනවා නම් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

ජාතික ගීය සම්බන්ධයෙන් සුමන්දිරන් ඇතුළු දෙමළ බෙදුම්වාදී කල්ලිය තමන් ඉදිරිපත් කරන මතය සාධාරණය කිරීමට පදනම් කරගෙන තිබෙන්නේ රටට හෙනයක්වූත් සුදු අලියකු වූත් පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රතිපාදනයකි. 1987දී ඉන්දියාව මෙරට මහජනතාවගේ බලවත් විරෝධතාවය නොතකා මෙම ව්‍යවස්ථාව බලහත්කාරයෙන් රටේ නීතියක් බවට පත් කරන ලදී. ඒ බලහත්කාරකමට අනුව සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා මෙන්ම ජාතික භාෂාවන්ද වන අතර සියලු නීති සිංහල හා දෙමළ යන දෙබසින්ම ප්‍රකාශයට පත්කරන හෙයින් ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ව්‍යවස්ථාවට අදාළ බව සුමන්තිරන් කියයි. එය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීය ගැන සඳහන් වන්නේ සත් වෙනි වගන්තියේය.ඊට අනුව ශ්‍රී ලංකා ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා" ගීතය වන්නේය. ජාතික ගීයේ පද මාලාව සහ සංගීතය පිළිබඳව දැක්වෙන්නේ තුන් වන උපලේඛනයේය. ඒ හැර වෙනත් කිසිවක් ජාතික ගීය ලෙස සැලකෙන්නේ නම් එය පැහැදිලිවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. එසේ නම් ජාතික උත්සවයකදී ශ්‍රී ලංකා තායේ මැයෙන් දෙමළ බසින් ගීතයක් ගායනා කිරීම ආණ්ඩුකුම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ වගන්තිය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත හා ජනමත විචාරණයකින් ජනතාවගේ කැමැත්ත ද විමසිය යුතුව තිබේ. සුමන්දිරන් ඇතුළු දෙමළ බෙදුම්වාදී නඩේට ජාතික උත්සවයකදී දෙමළ බසින් ජාතික ගීය ගායනා කර ගැනීමට අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සත් වන වගන්තිය ඉහත කී ආකාරයට සංශෝධන කළ යුතුය. එසේ කරගතහොත් සුමන්දිරන් ට සිය සිහිනය ද සැබෑ කර ගැනීමට පිළිවන.

මීට සති කිහිපයකට පෙර උතුරු පළාතට මහා ගංවතුරක් ආවේය. ඉන් පීඩාවට පත් උතුරේ දෙමළ වැසියන්ගේ උදව්වට මෙන්ම ඔවුන් බේරා ගැනීමට පැමිණියේ ශ්‍රී ලංකා යුද හමුදාවය. සුමන්දිරන්ලා පැත්ත පලාතේ ගියේ නැත. එවන් ඛේදවාචකයක් මඟහරින සුමන්තිරන්ලා දැන් ඒ ජනතාව ගායනා කළ යුතු ජාතික ගීය තිබිය යුතු බස ගැන කතා කිරීම අවස්ථාවාදයේ උපරිමය වෙයි.

අප එසේ කියන්නේ තාර්කිකවය. උතුරේ හිටපු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් සිංහල බෞද්ධයන්ගේ ඉතිහාසය පිළිබඳව අලුත් ඉතිහාස කතාවක් රටට දායාද කළේය. ඔහුගේ ඉතිහාස කතාවට අනුව මෙරට පළමු ආදිවාසීන් දෙමළ බෞද්ධයන් වන අතර මහාවංශය පාලියෙන් ලියූ ප්‍රබන්ධයක් වේ. එහෙත් විග්නේෂ්වරන්ගේ මේ අලුත් ඉතිහාස කතාවට සුමන්දිරන්ලාගේ සහයෝගය ලැබුණේ නැත. දැන් සුමන්දිරන්ලාගේ ජාතික ගී අරගලයට විග්නේෂ්වරන්ලා සහයෝගය නැත. ඒ මේ සියලු නාටක තමන්ගේ බඩ වඩා ගැනීමේ බඩගෝස්තරවාදී අරගල මිස දෙමළ ජනතාවගේ සැබෑ අරගල නොවන නිසාය.

ජාතික ගීයේ ප්‍රශ්නය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයකි. එහෙත් සුමන්දිරන් ඇතුළු අන්තවාදී මෙම නඩය ජාතික ගීයේ ප්‍රශ්නය දැන් ඉන්දියාවට ගෙන ගොස් හමාරය. ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ ස්‌ටාලින්, පාටලී මක්කල් කච්චි පක්ෂය පක්ෂයේ රාම දෝස් ද දැන් අපේ ජාතික ගීයේ ප්‍රශ්නයට මැදිහත් වී තිබේ. මේ දෙපළ ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති එස්.ජයෂන්කර්ගෙන් ඉල්ලා ඇත්තේ ජාතික ගීය සම්බන්ධයෙන් වූ මෙම ප්‍රශ්නයට මැදිහත් වන ලෙසය.

සුමන්දිරන් ජාතික ගීයට කළ අපහාසය මත ඔහුව ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගතයුතු බවට මතයක් රටේ තිබේ.එය නිවැරදිය. කිඹුහුමක් ගියත් ඉන්දියාවට කතා කරන උතුරේ දෙමළ බෙදුම්වාදී මේ නඩේට ඉන්දියාවේ ජාතික ගීය සම්බන්ධයෙන් ඇති විධිවිධාන මතක් කර දිය යුතුය. ඉන්දියාවේ ජාතික ගීය විවේචනය කිරීම, ගරු නොකිරීම,  ජීවිතාන්තය දක්වාම සිරගෙට යෑමට ප්‍රමාණවත්ය. අපේ රටේ එවැනි පිළිවෙතක් නොතිබීම රටේ කරුමයකි. එවැනි පිළිවෙතක් තිබුනේ නම් සුමන්තිරන්ලා දඟලන්නේ නැත. සුමන්තිරන් ද්විත්ව පුරවැසියෙකි. ඔහුට බ්‍රිතාන්‍යයේ පුරවැසිකමද තිබේ. බ්‍රිතාන්‍ය ජාතික ගීයත් දෙමල බසින් ගායනා කරන ලෙස සුමන්තිරන් අභියෝග කරන්නේ නම් ඔහු සැබෑ පොරකි. 

(මංජුල බටුගෙදර)

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 07 January 2020 13:14