April 26, 2024

පරිනත රනිල් හමුවේ සජිත් දේශපාලන ළඳරුවෙකි

September 10, 2019

සාමාන්‍යයෙන් බලයේ සිටින රජයක් සිය පක්ෂ සම්මේලනය පවත්වන්නේ රාජ්‍ය බලයද යොදා මහත් ඉහළිනි.  පසුගිය 6 වැනි සිකුරාදා එක්සත් ජාතික පක්ෂයේ 73 වන සංවත්සරය යෙදී තිබිණි. 73 වන වියට එජාපය පා තැබීම ගැන කිසිම හාවක් හූවක් තිබුණේ නැත. පක්ෂයේ වගකිව යුත්තෙක්වත් ඒ ගැන අදහසක් ප්‍රකාශ කලේ නැත. ජනපති අපේක්ෂක උණුසුම 73 වන සැමරුම කුණු බක්කියට දැමීමට සමත් වීම එයට හේතුවයි.

එජාපයේ ආරම්භක නායකයා ජාතියේ පියා ලෙස ද සලකන මහාමාන්‍ය ඩී.එස්.සේනානායකයි. ඉන්පසු එය සිය පුතු ඩඩ්ලිට ලැබුණි. ඊටත් පසු සර්.ජෝන් කොතලාවල, ජේ.ආර්.ජයවර්ධන, ආර්.ප්‍රේමදාස මෙන්ම ප්‍රේමදාසගේ හදිසි අභාවයෙන් පසු ඩී.බී.විජේතුංගට පක්ෂ නායකත්වය හිමි විය. විජේතුංගගෙන් පසු පක්ෂ නායකත්වය හිමි වූයේ රනිල් වික්‍රමසිංහටය. 

රනිල් හැර ඉහත සඳහන් එජාප නායකයන් 6දෙනා පක්ෂ නායකත්වය දැරුවේ 48 වසක් තුළය. එහෙත් රනිල් තනි පුද්ගලයෙකු ලෙස වසර 25ක් එජාප නායකත්වය දරා තිබේ. අදටත් දරමින් සිටියි. එහෙත් ඒ සඳහා රනිල් එජාපය තුළ දියත් නොකළ කුමන්ත්‍රණයක් නොමැත. ජේෂ්ඨයන් තුල මෙන්ම කනිෂ්ඨයන් තුලද බෙදීම් ඇති කළේය. පක්ෂ නායකයා ලෙස සිය අවුරුදු 25න 18ක් ම පක්ෂය විපක්ෂයේ තැබීමට සමත් වූ ලොව එකම නායකයා රනිල්ය. මේ අනුව බලන කල රනිල් හොඳට තෙම්පරාදු වෙච්ච ඕනෑම දේශපාලන කුණාටුවකට මුහුණ දිය හැකි පරිනත චරිතයකි. 

1997 සිට අද දක්වා වසර 22ක් තුල රනිල් නායකත්වයෙන් පැන්වීමට කැරළි 5 ක් දියත් විය. ඒ සියල්ලම ඔහු ඉතා සාර්ථකව පරාජය කරන ලදී. ඒ පරාජයන් සමඟ ඊට මැදිහත් වූ කැරලිකාර මන්ත්‍රීවරුන් ඇතුළු 75 දෙනෙකු පමණ මේ වන විට පක්ෂයෙන් ඉවත්ව ගොස් හමාරය. 1998 දී පමණ ඊට ආරම්භය දුන්නේ අදටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන ආචාර්ය සරත් අමුණුගම, අභාවප්‍රාප්ත සුසිල් මුණසිංහ, නන්ද මැතිව් යන අයය.

මේ දිනවල දියත් වන්නේ රනිල්ට එරෙහි 5 වන කැරැල්ලයි. රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් කර ඒ වෙනුවට තරුණ අයෙකුට තැනක් දිය යුතු බවට මතයක් දරන මේ පිරිස සිය නායකයා ලෙස තෝරාගෙන තිබෙන්නේ 52 වැනි වියේ පසුවන සජිත් ප්‍රේමදාස මහතාය.

සජිත් ඉල්ලන්නේ ජනපති අපේක්ෂකත්වය පමණක් නොවේ පක්ෂ නායකකමද ඉල්ලයි. සජිත් කියන්නේ පක්ෂ නායකකම නැතුව ජනපති අපේක්ෂක වීමෙන් වැඩක් නැතැයි කියාය. සජිත්ගේ පැත්තෙන් ඒ කතාව හරිය. පක්ෂ නායකකම නැතුව මේ වැඩේට බැස්සොත් රනිල් තමන්ව පරාජය කරන බව සජිත් දනී. තමන්ට කරන්නෙත් 1994දී එජාප ජනපති අපේක්ෂයා වූ අභාවප්‍රාප්ත ගාමිණී දිසානායක පරද්දන්න රනිල් වැඩ කල වැඩ පිළිවෙලට තමන්ටද අත්පත් කරදෙන බවයි. 

2010 සහ 2015 ජනාධිපතිවරණ වලදී රනිල් පක්ෂයෙන් පිට කෙනෙකුට ජනාධිපති අපේක්ෂකත්වය දීමට එකඟ වුණේ ඔවුන් දින්නත් එය තමන්ගේ එජාප නායකත්වයට කිසිම අභියෝගයක් නොවන බව දන්නා නිසාය. රනිල්ගේ ඒ පියවර හරි බව අද ඔප්පු වී හමාරය. 

සජිත්ගේ පාර්ලිමේන්තු දිවියට තවමත් වයස අවුරුදු 18කි. රනිල්ගේ පාර්ලිමේන්තු දිවියට වයස අවුරුදු 42කි. ඒ අතින් බලන විට සජිත් සිටින්නේ නහයට අහන්නේ නැති තරුණ වයසේය. රනිල් සිටින්නේ හොඳින් කල්පනා කර යමක් කල හැකි මැදි වියේය. රනිල් මුලින්ම කැබිනට් ඇමැති කෙනෙක් වූයේ 1978දීය. ඒ තරුණ කටයුතු ඇමැති හැටියටය. ඒ මිට වසර 41කට පෙරය. සජිත් මුලින්ම කැබිනට් ඇමැති කෙනෙක් වූයේ 2015දීය. ඒ මීට වසර 4කට පෙරය. මේ රනිල් හා සජිත් අතර තියෙන වෙනසය.

අද සජිත් වටා සිටින්නේ රනිල්ගේ හොඳම ගෝල බාලයන්ය. රනිල් මුලින්ම රාජකීය කනිෂ්ඨයට ගියේ 1955 දී පමණය. එදා සිට අද දක්වා වසර 63 කාලයක මිතුරා වූ මලික් සමරවික්‍රම අද සිටින්නේ සජිත් ගාවය. මලික් වාමාංශික දේශපාලනයේ පතාකයෙකු වූ එඩ්මන් සමරවික්‍රමගේ පුතාය. ඊළඟට රනිල් එක්ක කිට්ටුවෙන් සිටි මංගලද අද සජිත් ගාවය. ඇතැම් විට මේ දෙදෙනා රනිල් සිය කපටි මොලයට අනුව සජිත් ගාවට යැව්වා විය හැකිය. සජිත් කියන දේවල් අකුරක් නෑර ඒ හරහා රනිල්ට දැන ගන්නට පුළුවන. 

එහෙත් රනිල් ගාව සජිත්ගේ කිසිවෙකු නැත. හිටියත් වැඩක් නැත. රනිල් තීරණ ගන්නේ සජිත් මෙන් ළඟ ඉන්න අයගෙන් හෝ ගෙදර බිරිඳගෙන් අසා නොව තනියෙන්මය. ඒ අනුව ඉකුත් 6 වනදා කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරින් සිය තීරණය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ තමන් එජාපේ ප්‍රමුඛ ගොඩ නැගීමට නියමිත සන්ධානයේ ජනාධිපති අපේක්ෂයා තමන් බවය. පක්ෂයේ නායකයා හැටියට තමන්ට ඒ අයිතිය තියෙන බව සිය තීරණය සාධාරණය කිරීමට රනිල් කරුණු ඉදිරිපත් කළේය. 

සජිත් ඊට පිළිතුරු දුන්නේ ජනපති අපේක්ෂකත්වය සඳහා තැබූ පය එක සෙන්ටිමිටරයකින්වත් පස්සට ගන්නේ නැතැයි කියාය. ඒ කියන්නේ ඔහු ජනපතිකමට ඉල්ලන බවය. ඉල්ලන්න වෙන්නේ එජාපයෙන් නොව වෙනත් පක්ෂයකිනි. රනිල්ට ඕනේ සජිත් ලවා ඒ වැඩේ කරවා ගන්නටය. 

සජිත් හිතන්නේ වෙනත් පක්ෂයකින් ඉල්ලා ජනපති වී එජාප නායකකම රනිල්ගෙන් බලෙන් ගන්නට පුළුවන් කියාය. ඒ හරියට පහුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන එජාපේ ප්‍රමුඛ කඳවුරට ගොස් ඒ හරහා ජනාධිපති වී මහින්ද රාජපක්ෂගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තා වගේය. සජිත් හෙට දවසේ එජාපයට පිටුපා වෙනත් පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉල්ලුවහොත් ඒ මොහොතේ පටන්ම සජිත්ගේ එජාප භූමිකාව අවසන් කරන හැටි රනිල් දනී. ආයිත් සිරිකොතේ පස් පාගන්නට තබා සජිත්ට එහි හුළඟවත් වදින්නට රනිල් ඉඩ තියන්නේ නැත. ඒ රනිල්ට ජනපතිකම, අගමැතිකම, විපක්ෂනායකකම, ඇමතිකම හෝ වෙනයම් කමකට වඩා එජාප නායකකම ඔහුට වටින එකම වස්තුව වන නිසාය.

මේ නිසා සජිත් හදන්නේ නයාට ගහලා පොල්ල වරද්ද ගන්නවා වගේ වැඩක් කිරීමටය. අප එසේ කියන්නේ රනිල්ගේ දේශපාලන පරිනත බව ඉදිරියේ සජිත් තවමත් දේශපාලන ළදරුවෙකු වන නිසාය. දේශපාලන වශයෙන් ළඳරු සජිතේ ඊළඟ පියවර ටික දිනකින් අපට දැක බලාගන්නට පුළුවන. එය අවසාන වන්නේ ඔහුගේ සහ ඔහු වටා සිටින්නන්ට ඛේදවාචකයක පෙර නිමිති පෙන්වමිණි.

(මංජුල බටුගෙදර) 

Rate this item
(0 votes)