April 28, 2024

අයවැය දෙවන වර කියවීමේ විවාදය ඇරඹේ - LIVE UPDATE Featured

November 18, 2020

පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30 රැස්විය.

අයවැය දෙවන වර කියවීමේ විවාදය එහිදී පැවැත්වෙයි.  අද සිට ලබන 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත් වේ.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21වන දින පස්වරු 05.00 ට සිදු කිරීමට නියමිත ය.

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් සඳහන් කළේ හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උසස්වීමක් ලබා දුන් බවයි.

“දැන් රට වහන්න ඕනේ නැහැ - 2023 වෙනකන් කොවිඩ් එක්ක ඉන්න වෙයි“ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

“දුරකථන, ටැබ්, ඩේටා ලබා දෙන්න දෙමව්පියන්ට වත්කමක් නැහැ“  සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

මේ වන විට නිවෙස්වලට වී සිටින පාසල් දරු දැරියන්ට රූපවාහිනි හා අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබා දීමේදී නිදහස් අධ්‍යාපනයෙන් සමතුලිතතාවය බිඳ වැටි තිබෙන බව ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පැවසීය.

තම ආණ්ඩුව යටතේ හිස් කල මහනුවර නගර මධ්‍යයේ තිබෙන බෝගම්බර හිරගෙදර භුමිය මේ වන විට කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යාම මහනුවර පිපිරීමට සුදානම් කර තිබෙන කාල බෝම්බයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් පැවසීය.

“අපි ඉන්නේ අයි.සී.යූ එකේ නෙවෙයි කියලා අජිත් නිවාඩ් කබ්රාල් කියනවා.. ඒක බොරුවක්“ - සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කළේය.

“ජනතාවට එකම විකල්පයයි. ඒ සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ජනතාවට සෙත සැලසීමය“ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවසීය.

“මම සතුටු වෙනවා හර්ෂද සිල්වා මන්ත්‍රීතුමාගේ කතාවෙන් පසු මට කතා කරන්න ලැබීම ගැන. එතුමාගේ කතාවේදී එතුමා එතුමාටම බැන ගත්තා“ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විවාදයට එක්වෙමින් පැවසීය.

"අපි ඔක්කොම අතේ තියෙන මුදල කියද දන්නවද? - රුපියල් මිලියන 677000" අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

"කොවිඩ් 19ට බෙහෙත් දෙයක් හොයාගෙන තියෙනවා - දැන්ම එය ඇනවුම් කළ යුතුයි" පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

"අද රට ගමන් කරන්නේ සෞභාග්‍යයේ වැඩ බිමට නොව අභාග්‍යයේ මුඩු බිමටයි" පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

දිවා භෝජනය සඳහා පාර්ලිමේන්තුව සුළු මොහොතකට කල් තැබිණි.

දිවා භෝජන විවේකයෙන් පසු පාර්ලිමේන්තුව යළි රැස්වෙයි

“හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා ඉතා වටිනා අදහස් කිහිපයක් ඉදිරිපත් කළා. එතුමා පළකල අදහස් ක්‍රියාවට නංවන්න බැරිවුණේ ඇයි. චම්පික රණවක මන්ත්‍රීතුමාත් දක්ෂ කථිකයෙක් අලුත් අදහස් තියෙන කෙනෙක්. චම්පික මන්ත්‍රීතුමාගේ කතාව තුළ දැක්කේ වසර හතරහමාරක් තුළ එතුමා අසමත් වුණේ ඇයි? “ යනුවෙන් විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

“කියන දේ ලියන දේ වෙන දේ අතර කොච්චර වෙනසක් තියෙනවාද. සංඛ්‍යා ලේඛන විජ්ජාවෙන් නොව ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍යයි. කොවිඩ් තුලින් පෙන්න තියෙන දේ තමා ධනවාද ක්‍රමයේ අර්බුදය ගැන.“ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

“තමන් ඇමැති කලේ ආරම්භ කල යුනිවර්සිටි කොලේජ් ආයතන විශ්වවිද්‍යාල නගර සංකල්පය යටතේ ස්ථාපිත කල හැකියි. අධ්‍යාපනයට මීට වඩා අවධානය යොමු කල යුතුයි.“ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පැවසීය.

“තමන්ගේ හිත මිතුරන්ට බදු සහන දෙන්න. කළු සල්ලි සුදු කරන්න බදු සහන දෙන්න යෝජනා තියෙනවා. 2024වන විට ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලයේ අවසන් වන විට එක් පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 10ක් විය හැකියි. මෙතන ඉන්න හුඟක් අය ඇප පිට ඉන්න ඕන අය. අපේ කාලේ හරි හැටි තීන්දු තීරණ ගත්තේ නැතිකම අපි වගකීම බාර ගන්නවා.“ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය. 

"විපක්ෂයේ අයගේ ඔය කට රනිල් වික්‍රමසිංහ ඉස්සරහා තිබ්බා නම් අදත් ආණ්ඩුවක ඉන්නවා" - පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පැවසිය.

"ජනාධිපතිවරයා පාස්,සින්නදොරෙයි  සජිත් ප්‍රේමදාස ෆේල්" පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසිය.

"මේ අයවැය එහෙන් මෙහෙන් කෑලි දාලා අටවපු එකක්" සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා පැවසිය.

“පසුගිය දූෂිත ආණ්ඩුව විසින් විනාශ කරලා කුඩු පට්ටම් කරලා දාපු ආර්ථිකයක් මැද තමා අපි අයවැය ලේඛනයක් ඉදිරිපත් කළේ. රටේ ලෙඩේ තියෙනවා රට සාමාන්‍ය පරිදි වැඩ කරනවා. රට වහන්න ඕන තැන වහනවා. අරින්න ඕන තැන අරිනවා.“ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.

“ආණ්ඩුව අසමත් කියන එක සමාජගත කළා. ගෝඨා ෆේල් කියලා. ගෝඨා ෆේල් නෑ ගෝඨා පාස් කියලා ජනතාව ඔප්පු කරලා තියෙනවා. හවුස් මෙට්ලා 10 දෙනෙක් යවනවා වෙනුවට නාවිකයන් එක්කෙනෙකු යවලාඅපිට පුළුවන් අපේ රටේ අවශ්‍යතාවය ඉටු කරන්න“ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

විවාදයට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසූවේ“ ජනතාවගේ බදු මුදල් මංකොල්ලා කාපු හොරු අල්ලනවා කියලා තමා ආවේ. දැන් අවුරුද්දක් ගතවෙලා තියෙනවා. මේ රටේ ජනතාව රවටලා අපිට දීපු බලය තුල අපිට ඕන එකක් කරනවා කියන පණිවිඩය ජනතාවට දීපු අයවැයක්“

“බොහෝ ඉදිරිපත් කිරීම් ඇතුලේ තිබුණේ හුදු ආවේග සහ හුදු තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිවලට සමාජය විසින් තමන්ව බැහැර කරපු එකට විරුද්ධව කරපු ප්‍රකාශ තමයි“ යැයි මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේය.

“මේ අයවැය ලේඛනය දිහා බලන්න අයත් නෑ වැයත් නෑ ණය පමණයි. අය කරගන්න විදිහක් නෑ. ගජ මිතුරන් ආරක්ෂා කරගනිමින් ජාවාරම්කාරයන්ට මුල්තැන දීලා තියෙනවා.“ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

"සියලු ශක්ති විභවයන්ට නව උත්තේජනයක් දෙන්න තමයි මේ අයවැය හැදුවේ" පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසිය.

"අයවැය ඉදිරි වසර තුල සමාජය හා ජනතාව අතර කර ගන්නා වූ සම්මුතියේ ප්‍රකාශනයක්."  පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා පැවසිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා දුමින්ද සිල්වාගේ නඩු තීන්දුවෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමාට මහත් අසාධාරණයක් වෙලා තියෙනවා. එනිසා අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන ඔබතුමා සිතා බලලා හැකි ඉක්මනින් අසරණ වෙලා ඉන්න දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීතුමාට ජනාධිපති සමාව දෙන්න. අවුරුද්දක් පිරෙන මේ මොහොතේ අපි ඉල්ලා සිටිනවා“ යනුවෙනි.

පාර්ලිමේන්තුව හෙට දින (19) 9.30 දක්වා කල් තැබීමට යෝජනා කෙරිණි.

වැඩිදුර තොරතුරු බලන්න පහත සැබැදියට පිවිසෙන්න

මෙතන ක්ලික් කරන්න

Last modified on Wednesday, 18 November 2020 19:08

Related items