April 28, 2024

හුදකලා නීතිය වෙනස් වෙයි - පොලිස්පතිගෙන් නිවේදනයක් Featured

November 10, 2020

සමස්ත රටේම නිරෝධායන ඇඳිරි නීතිය මේ වන විට ඉවත් ඉවත් කර තිබුණද පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට (lockdown) කොව්ඩ් 19 මර්දනය කිරීමේ කාර්ය සාධන බලකාය පියවර ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ජනතාව තුල නිවැරදි අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නොමැත.

ඊට හේතුවී තිබෙන්නේ හුදකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාව තුළ මෙන්ම ඒ හරහා ගමන් ගන්නා ජනතාව තුළ ද නිරෝධායන නීතිරීති පිළිබඳ නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවා ඇති විධිවිධාන සම්බන්ධයෙන් දැනුවත් වී නොමැතිකමය.

අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත්ව පරිසර අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්වීමෙන් පසු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරය පුරප්පාඩු ව තිබුණු අතර ඒ සඳහා සුදුස්සකු පත්කරනු ලැබුවේ මීට ටික දිනකට පෙර ය.

නව සෞඛ්‍ය අධ්‍යක්ෂක සේවා ජනරාල්වරයා පත්වීමට පෙර ක්‍රියාත්මක වූ නීතිය වූයේ හුදකලා කර ප්‍රදේශ හරහා නොනවත්වාම වාහන වලට ගමන් කිරිමට අවස්ථාව ලබාදීමය.

වැඩ බලන පොලිස්පතිවරයා විසින් 2020.11.09 වන දින නිකුත් කරන ලද නිවේදනයකට අනුව එම නීතිය මේ වන විට වෙනස් වී ඇති අතර හුදකලා කරන ලද ප්‍රදේශ වල හා ඒ ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්බන්ධයෙන් අවසර දීමේ පූර්ණ බලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතට පත්කොට තිබෙන බව ජනතාව වෙත දැනුම් දී තිබේ.

එම නිවේදනයට අනුව හුදකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ එම ප්‍රදේශ හරහා සංචරණය කිරීමට අවසර ලබා දෙනු ලබන්නේ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නිසි බලධරයා වන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පමණි.

එම නිවේදනයට අනුව 2020.11.09 දින සිට හුදකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ එම ප්‍රදේශ හරහා ගමන් කිරීමට සුවිශේෂී කාරණා මත අවශ්‍යතාවයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ලබා ගත යුතු අතර ඒ සඳහා පිරවිය යුතු ඉල්ලුම් පත්‍රයක් ද තිබේ.

මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නිකුත් කොට ඇති නිරෝධායන ඇදිරිනීති බලපත්‍ර හුදකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ ඒ හරහා ගමන් කිරීමට වලංගු නොවන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

Last modified on Tuesday, 10 November 2020 11:24