May 01, 2024

කවුරු ආවත් නාවත් මම තව තුන්දෙනෙක් සමග ආණ්ඩුවට යනවා - ශ්‍රීලමුකො නියෝජ්‍ය නායක Featured

කවුරු ආවත් නාවත් තමන් මුස්ලිම් කොංග්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමග ආණ්ඩුවට සහාය දීමට යන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක නසීර් අහමඩ් මහතා පක්ෂ නායකත්වයට දැනුම් දී තිබේ.

මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක් වීම සඳහා කටයුතු කිරීම මේ වන විට පක්ෂ නායක රවුෆ් හකීම් මහතාට බරපතල ප්‍රශ්නයක් වී තිබේ.

සමගි ජන බලවේගය සංධානගත පාර්ශවයක් වුවත් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම පක්ෂය ස්වාධීන තීරණයක් ගන්නා බවද මුස්ලිම් කොංග්‍රසය ප්‍රකාශ කොට තිබෙන්නේ මෙම ප්‍රශ්නය නිසා ය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගය විරුද්ධ බව මේ වන විට ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව මුස්ලිම් කොංග්‍රසය ඒ පිළිබඳව ස්වාධීන තීරණයකට එළඹීම යනු ඔවුන්ගේ සහය 20 වෙනි සංශෝධනයට හිමිවෙන බව තහවුරු කිරීමකි.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් හැර ඔවුන් නායකත්වය දරණ පක්ෂවල මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ආණ්ඩුවට ලබා ගැනීම සඳහා පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටින බව ප්‍රකට කරුණකි.

නසීර් අහමඩ් මහතා මීට පෙර නැගෙනහිර මහ ඇමතිවරයාව සිටියදී ඔහුට හමුදා නිලධාරියකු ගරුසරු නොකිරීම මත එම හමුදා නිලධාරියාට දොස් පැවරීමේ සිද්ධියකට එවකට විශාල ප්‍රචාරයක් ද ලැබුණි.

Last modified on Friday, 02 October 2020 11:14