May 17, 2024

කොළඹ වරායෙන් ජැටියක් ඉල්ලා ඉන්දියාව බලපෑම් කරලා - වරාය අධිකාරිය බරපතල අර්බුදයක Featured

ඉකුත් රජය විසින් හම්බන්තොට වරාය චීනයට දුන් පසු කොළඹ වරායෙන් ජැටියක් ඉල්ලා ඉන්දියාව බලපෑම් කර ඇති බවත් ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට එවක රජය කැබිනට් අනුමැතිය ඇතිව ගිවිසුමක් අස්සන් කළ බවත් වරාය අධිකාරියේ උප සභාපති ඩබ්ලිව් එස් වීරමන් මහතා පවසයි.

වත්මන් රජය පැමිණි පසු එම යෝජනාවෙන් ඉවත්ව වරාය අධිකාරිය විසින්ම නැගෙනහිර පර්යන්තය ඉදිකළ යුතු බවට තීරණය කරමින් කටයුතු කළ නමුත් ගිවිසුම ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි ඉන්දියාව දිගින් දිගටම බලපෑම් කරන බව ද උපසභාපතිවරයා සඳහන් කළේය.

පවතින තත්ත්වය යටතේ අධිකාරිය බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින බවත් සාකච්ඡා කර යම් පියවරක් ගැනීමට බලාපොරාත්තු වන බවත් වීරමන් මහතා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට ගෙනඑනු ලැබ ඇති ග්‍රැන්ටි දොඹකර (කන්ටේනර් මෙහෙයුම් සිදුකරන දොඹකර) නැවෙන් ඉක්මණින් බාන්නැයි ඉල්ලමින් වරාය සේවක වෘත්තිය සමිති නායකයෝ ඊයේ (22) පස්වරුවේ වරාය සභාපතිවරයාගේ කාර්යාලය වටලමින් ඉල්ලීමක් කළහ.

මීට දින පහකට පෙර ගෙන එනු ලැබූ ඉකුත් 20 දා ගොඩ බෑමට නියමිතව තිබූ නමුත් එය සිදු නොවූ බවත් දොඹකර නැවෙන් බෑම අද (23) ආරම්භ නොවුනහොත් සියලු වෘත්තිය සමිති එක්කරගෙන වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් වරාය ස්වාධීන වෘත්තිය සමිතියේ සභාපති ලාල් බංගමුවගේ මහතා ප්‍රකාශ කරයි.

චීනයෙන් ගෙන්වන ලද මෙම දොඹකර සවිකරනවා වෙනුවට ඉන්දීය රජයේ බලපෑම් මත ආපසු යැවීමේ උත්සාහයක් පවතින බවට සැකකරන්නේ යැයි කී බංගමුවගේ මහතා මේ පිළිබඳව සාකච්ඡාවක් ලබා දෙන තුරු සභාපතිවරයාගේ කාර්යාලය ඉදිරිපිට සිටින බවත් සාකච්ඡාවක් නොලැබුණ හොත් හෝ මෙම දොඹකර ගොඩබෑමට කටයුතු නොකලහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවන බවත් කියා සිටියේය.  

Last modified on Tuesday, 23 June 2020 11:00