April 26, 2024

"මාව මරන්න ගානියාගේ මාමණ්ඩිය දුන් කොන්ත්‍රාත්තුව යහපාලන පොලීසිය යට ගැහුවා" - ඩිලන්ත මාලගමුව (VIDEO) Featured

December 18, 2019

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රි බෙවන් පෙරේරා තමාව මරා දැමීමට අපරාධ කල්ලියකට කොන්ත්‍රාත්තුවක් ලබාදීම පිළිබඳව තමා විසින් පොලිසියට කරන ලද පැමිණිලි පසුගිය ආණ්ඩුව සමයේ යට ගසනු ලැබූ බව ලෝක ශූර මෝටර් රථ ධාවකයකු වන ඩිලන්ත මාලගමුව මහතා පවසයි.

ස්විස් තානාපති කාර්යාල සේවිකාවගේ ප්‍රශ්ණයේදී නම සඳහන් වුණේ බෙවන් පෙරේරාගේ පුත්‍රයාගේය.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ තමා ඝාතනය කිරීම සඳහා ලබාදුන් ආයුධය භාවිතයෙන් මාතර ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකා ඇති බවයි.

ඝාතන කොන්ත්‍රාත්තුව ලබා ගත් පුද්ගලයා එම සිදුවීමට අදාළව පරීක්ෂණ පැවැත්වෙන අතරතුර පොලිස් වෙඩිපහරට ලක්ව මියගොස් ඇතැයිද පැවැසූ මාලගමුව මහතා වැඩිදුරටත් කියා සිටියේ, එකී සැකකරු මිය යෑමට පෙර ඒ සම්බන්ධයෙන් විස්තර පවසා ඇති බව උසස් පොලිස් නිලධාරියකු තමා වෙත දැනුම් දුන් බවයි.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් අක්කර 965ක වතුයායක් කල්බදු පදනම මත වසර 50ක් සඳහා තමා ලබාගෙන තිබූ බවත් එම වතුයාය නීති විරෝධීව බෙවන් පෙරේරා විසින් පවරා ගැනීමට සැලසුම් කළ සමයේ මෙලෙස ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවයි.

“බෙවන් පෙරේරා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයකු විධියට කාලයක් කටයුතු කළා. ඒ කාලේ මට කතා කරලා කිව්වා මේ වත්ත ඔහු පවර ගන්නවා කියලා. මට ඔහුගේ ගෙදරට එන්න කියලා කීවාම මම එහි ගියා. එහිදී ඔහු මට තර්ජනය කළා. මගේ සපත්තු දෙක පවා හැංගුවා. ඒ කාලේ තමයි මේ ඝාතන කොන්ත්‍රාත්තුවක් ලබාදී තියෙන්නේ. මම මේ ගැන අගමැතිවරයා පවා හමුවී දන්වා සිටියා. අගමැතිවරයා පොලිස්පතිවරයාට මේ බව දැනුම් දුන්නත් වැඩක් වුණේ නැහැ. කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පරීක්ෂණ ආරම්භ කළත් සති දෙකක් ගිය තැන ඒ සියල්ල යට ගියා” යැයි මාලගමුව මහතා සඳහන් කළා. මේ සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට තමාට ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් ඇති ගැටලුව විසඳා දෙන ලෙසත් තමා ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් නීත්‍යනුකූලව ලබාගෙන ඇති වතුයාය නැවත තමාට ලබාදීමට කටයුතු කරන ලෙසත් ඔහු මෙහිදී ඉල්ලා සිටියා. 2018දී බෙවන් පෙරේරාගෙන් මරණ තර්ජනයක් ආවා. බෙවන් පෙරේරා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයකු විධියට වැඩ කළා. අවුරුදු 50ක ලීසිං ක්‍රමයට අපි නාවලපිටියෙන් ඉඩමක් ගත්තා. 2017දී නැවත බෙවන් පෙරේරා මට කතා කරලා කිව්වා ආපහු ඒ වත්ත ජනවසමට ගන්නවා කියලා. මං කිව්වා අපේ ගිවිසුම් අනුව එහෙම ගන්න බැහැ කියලා. පස්සේ ඔහු මට තර්ජනය කළා. පහුවදා මගේ යාළුවෙක් සමඟ ඔහු මුණගැහෙන්න ගියා. මං ඇතුළේ ඉඳන් කතා කරලා එළියට එනකොට මගේ සපත්තු දෙක තිබුණේ නැහැ. එයා සපත්තු දෙක හැංගුවේ මං හිතන්නේ සර්පයෙක් දාන්න."

"මොකද මං බූට්ස් අඳින්නේ. මොහු සල්ලි දෙන්න කිව්වා ඒ ප්‍රශ්නය විසඳලා දෙන්නම් කියලා. මං කිව්වා ශතයක් දෙන්නේ නැහැ කියලා. පස්සේ ඒ වත්ත බෙවන් පෙරේරාගේ නමට හරවාගෙන. මං ඊට පස්සේ ගිහින් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමාට මේ ගැන කිව්වා. මේ වගේ කෙනෙකුට ‘ජනවසමේ’ මෙහෙම තනතුරක් දුන්නේ ඇයි කියලා මං ඇහුවා. මොනවාද තියෙන සුදුසුකම් කියලා මං ඇහුවා. පස්සේ කිව්වා මට කරන්න දෙයක් නෑ ඩිලන්ත මෙයා රනිල්ගේ මනුස්සයෙක්. මං ටික දවසකට රේස් එකකට රට ගිහින් ඉඳලා ආවාම මගේ අක්කා කතා කරලා කිව්වා පොලිසියේ ඩී.අයි.ජී. කෙනෙක් මාව හොයනවා කියලා. ඒ ප්‍රියන්ත ජයකොඩි මහත්තයට මං කතා කළාම කිව්වා ඔයාට මරණ තර්ජනයක් තියෙනවා මේ දවස් ටිකේ ප්‍රවේශමෙන් ඉන්න කියලා. මාතර රන්බඩු කඩයක් කඩපු චාමර කියලා කෙනෙක් අහුවුණා. ඔහුගේ අතේ ආයුධයක් තිබිලා හම්බ වුණා. ඩිලන්ත මාලගමුව මරන්න බෙවන් පෙරේරා දුන්න ආයුධය මේකයි කියලා ඔහු කියලා තියෙනවා. පෑලියගොඩ පොලිසියෙන් මට එන්න කියලා කටඋත්තරයක් ගත්තා. පස්සේ ඒ ගැන මොකුත්ම නැහැ. මං ගිහින් අගමැතිතුමාට කිව්වා බෙවන් පෙරේරා මාව මරන්න හදනවා කියලා. අගමැතිතුමා කිව්වා පොලිස්පතිතුමාට කියන්නම් කියලා. රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිතුමාටත් කිව්වා. කිසිම දෙයක් වුණේ නැහැ. කාලයකට පස්සේ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මට කිව්වා වහාම හම්බවෙන්න කියලා. සී.අයි. දිලීප් කියන කෙනාව මාරු කරා සුමාන දෙකක් යන්නත් කලින්. හිටපු පොලිස්පතිතුමාට කතා කරා, දන්න හැමෝටම කතා කරා කිසිම දෙයක් වුණේ නැහැ. මහ ලොකුවට කිව්වා මං රනිල් වික්‍රමසිංහගේ දකුණු අත මට මුකුත් කරන්න බෑ. බෙවන් පෙරේරා හැමවෙලේම පිස්තෝලයක් ඉණේ ගහගෙන ඉන්නේ. එයාට දීලා තියෙන්නේ බලපත්‍ර සහිත පිස්තෝලයක්. මේ ආණ්ඩුව ආපු ගමන්ම මං ගිහින් වැඩබලන පොලිස්පතිතුමාට දැනුම් දුන්නා. කොළඹ අපරාධ කොට්ඨාසයටත් දැනුම් දීලා වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න උපදෙස් දීලා තියෙනවා. කර්මය පල දෙනවා වගේ හරියටම කාලෙකට පස්සේ බෙවන් පෙරේරාගේ නම පහුගිය දවස් ටිකේ කරළියට ආවා. මං හිතනවා වර්තමාන ආණ්ඩුවෙන් ඔවුන් ගැන පරීක්ෂණයක් කරලා දඬුවම් කරයි කියලා බලාපොරොත්තු වෙනවා."

Last modified on Wednesday, 18 December 2019 14:01