May 04, 2024

මමයි අගමැති කී රනිල්ට සජිත්ගෙන් පිළිතුරු Featured

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නව තනතුරුවලට පත්කරන පුද්ගලයන් අතරින් තමන් විසින් නම් කරනු ලැබ තිබෙන්නේ “එකම එක තනතුරක්” පමණක් බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ නීතිය හා සාමය රැකීමේ වගකීම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ට පැවරීම තමන් මෙතෙක් පවරා දී ඇති එකම වගකීම බව ද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දඹුල්ලේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් අවධාරණය කළේය.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එම ප්‍රකාශය කළේ ඔහු ජනාධිපති පදවියට පත්වීමෙන් පසුවත් අගමැති ධූරයේ කටයුතු කරන්නේ තමන් බවට අගමැති රනිල් වික්‍රමසිංහ කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කිරීමෙන් අනතුරුවය.

තමන් ජනාධිපතිධූරයට පත්වුවහොත් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්කරන්නේ ද, නැද්ද යන ප්‍රශ්නයට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තවමත් නිසි පිළිතුරක් ලබාදී නොමැති අතර ඔහු මේ පිළිබඳව විමසූ මාධ්‍යවේදීන්ට අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළේ මෙම මැතිවරණය ජනාධිපතිවරයා පත්කිරීමේ ජන්ද විමසීමක් මිස අගමැතිවරයෙක් පත්කරගැනීමේ ජන්දයක් නොවන බවය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාසට සහය දක්වන දේශපාලකයන් කිහිපදෙනෙකුම සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ නව අගමැතිවරයෙකු පත්කරන බවට හැඟෙන ප්‍රකාශ සිදුකර තිබුණි.

හරි ටිවී ආයතනය සමග මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සජිත් ප්‍රේමදාස පිහිටුවන නව ආණ්ඩුවේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ ද යන ප්‍රශ්නයට මෙවන් පිළිතුරක් ලබා දුන්නේය.

“සජිත් ප්‍රේමාදාස පැහැදිලිවම ඔහුගේ කතා කිහිපයක සඳහන් කළා ඔහු පිහිටුවන ආණ්ඩුව අළුත් ආණ්ඩුවක් වෙනවා කියලා,” සජිත් ප්‍රේමදාස ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියකු වන තිස්ස අත්තනායක පැවසීය.

“ඔහු කියනවා මගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ කිසිදු දූෂිතයෙකුට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම ඔහු කියනවා මම මිනිස්සු බලාපොරොත්තු වන ආණ්ඩුවක් ලෙස මේක පරිවර්තනය කරනවා කියලා. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ඔහු මොකක්ද කරන්න යන්නේ කියලා. මිනිස්සු බලාපොරත්තු වෙනවා අළුත් ආණ්ඩුවක් අළුත් වැඩපිළිවෙලක්.”

“සජිත් ප්‍රේමදාස ජනපති ධූරයක් යටතේ ඊළඟ අගමැති වශයෙන් පත්වනු ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයේ සහයෝගය ඇති පුද්ගලයා යි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඒ බව පැහැදිලිව සඳහන්. අනාගත රජයක අගමැති දූෂිත හෝ අකාර්යක්ෂම පුද්ගලයකු නොවනු බවට අපි සහතික වෙමු,” යනුවෙන් සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියකු වන හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණි.

උඩරට ජනතාව ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාසට විජයග්‍රාහී ජයග්‍රහණයක් ලබා දී සජිත් ප්‍රේමදාස ජනාධිපති වූ විට අගමැති පදවිය උඩරටට ලබාදීම අවශ්‍ය යයි පැහැදිළිව ප්‍රකාශ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පසුගිය (27) වැනිදා මහනුවරදී පැවැත්වුණු ජනරැළියක් අමතමින් සඳහන් කර තිබේ.පසුගිය (27) වැනිදා මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසුවේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වූ පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ඉන් බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ඇති පුද්ගලයා අගමැති ලෙස පත්කරන බවය.

තමන් බලයට පත්වුවහොත් අගමැතිධුරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපතිධුරයට පත්වූ වහාම අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්කරනවා දැයි ගෝඨාභය රාජපක්ෂගෙන් ඔහු සහභාගි වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළත් එයට ඔහුගෙන් පිළිතුරු නොලැබුණි. 19 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයෙකුට අගමැතිවරයා ඉවත්කළ නොහැකි බව නීතිවේදීන්ගේ මතය වී තිබෙ.

කෙසේ නමුත් එම මාධ්‍ය හමුවේදී ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු ලබා නොදුන් ප්‍රශ්නයට පිළිතුරක් දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ නව ජනාධිපතිවරයෙක් පත්වූ පසු අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ද යළි දිවුරුම් දිය යුතු බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තු බල තුලනයේද වෙනසක් ඇතිකර මහින්ද රාජපක්ෂ අගමැති ධුරය සඳහා පත්කරන බවයි.

Last modified on Thursday, 31 October 2019 12:01