April 26, 2024

අද පාර්ලිමේන්තුවේ මොකද වුණේ? - සම්පුර්ණ වීඩියෝව සහ විස්තරය (VIDEO)

November 23, 2018
  • ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ කතාවෙන් පසු නියෝජ්‍ය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව ලබන 27 වැනි දා පස්වරු 1.00 වන තෙක් කල් තබනු ලැබීය.
  • ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කතා කරයි.

"රටේ ඇති වී තිබෙන තත්ත්වය ගැන සහ ඔක්තෝබර් කුමන්ත්‍රණය ගැන මන්ත්‍රීවරුන් අද කතා කළා. පාර්ලිමේන්තුව විසිරුවන්න හේතුව ගැන ජනාධිපතිවරයා ජාතිය අමතන කතාවෙන් කිව්වා. මන්ත්‍රීවරුන් කෝටි ගණන් වලට ගිය බව ජනාධිපතිවරයා කිව්වා. ‘රංගෙද‘ කියලා අව දුරකතන ඇමතුම මගේ ෆේස්බුක් එකේ දැම්මා. එය ලක්ෂ 10ක් පමණ බලලා තියෙනවා. දැන් තිබෙන නීතිය ගැන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවරක් ගත්තොත් මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුලුවන්.මන්ත්‍රීලා සල්ලි දීලා ගන්නවට එරෙහිව එදා පාර්ලිමේන්තුවේ  කතා කළේ දිනේෂ් ගුණවර්ධන සහ ජී ඇල් පීරිස් මහත්වරුන්. මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීම නවත්වන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ආ යුතුයි."

  • අජිත් මාන්නප්පෙරුම මහතා කතා කරයි.

"රට යපාලනය වෙන්න නම් ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය හරියට වැඩ කළොත් රට ප්‍රජාතන්ත්‍රවාදී වෙනවා. එදා ජනාධිපතිවරයා කියන විදියටයි ව්‍යවස්ථාදායකයයි, අධිකරණයයි වැඩ කළේ. අපි එය නැවැත්තුවා. මේ රටේ ජනතාවට විශ්වාස කළ හැකි අධිකරණයක් ඇති කරන්න හැකි වෙලා තියෙනවා. කරු ජයසූරිය මහතා ආදි ආනන්දියෙක්. මමත් ආදි ආනන්දියෙක්. ව්‍යවස්ථාදායකය ශක්තිමත් කියලා පෙන්වන්න කොන්දක් කතානායකතුමාට තිබෙනවා. පාර්ලිමේන්තුව කාටවත් නැමෙන තැනක් නෙමෙයි කියලා පෙන්වන්න කතානායකතුමාට පුලුවන් වුණා. අද රට අරාජිත වෙලා නෑ. රට අරාජික කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ අභියෝගවලට මුහුණ දෙන්න බැරි අගමැතිවරයෙක් බිහි කළා. ඡන්දයක් තියෙනවා කිව්වාම කතානායක පුටුව පෙරලනවා. පොලිසියට ගහනවා. ඇයි පාර්ලිමේන්තුව අරාජික කරන්න හදන්නේ? ව්‍යවස්ථාවක් හදන්නේ එක රැයෙන් නෙමෙයි. රට කරවන යන ලියැවිල්ල සාකච්ඡා කරලයි නිර්මාණය කළේ. මේ ව්‍යවස්ථාවට එකඟව කටයුතු කරනවා කියලයි මන්ත්‍රීවරුන් දිවුරුම් දෙන්නේ. ජනාධිපතිවරයා අගවිනිසුරුවරයා ඉදිරිපිට දිවුරුම් දෙන්නෙත් ව්‍යවස්ථාව රකිනවා කියලයි. දැන්වත් හරි තීන්දුව ගන්නා ලෙස ආයාචනා කරනවා."

  • බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා කතා කරයි.

"ජනාධිපතිවරණ සමයේ වඳුරඹ වේදිකාව ගිනි තිබ්බා. වඳුරඹ පොලිස් ස්ථානාධිපතිට ඉල්ලා අස් වෙන්න වුණා බලපෑම් නිසා. අද ඒ වෙඩි තැබීමේ ප්‍රධාන පුද්ගලයට නියෝජ්‍ය ඇමැතිකමක් දුන්නා. ඒ නඩුවේ සැකකරුවන් විදියට ඉන්න නම දෙනාගෙන් හය දෙනකුට වරායේ රස්සාවල් දුන්නා. නමුත් ඒ ගිනි තිබ්බ වේදිකාව හදපු අය ගැන බැලුවේ නෑ. අපි ඕවා කලින් දැක්කා. අගමැතිතුමා කිව්වා ජනාධිපතිට විරුද්ධව මොනවත් කියන්න එපා කියලා. අපි රස්සාවල් දෙන්න යද්දි විවිද හේතු කියලා ඒවා නතර වුණා. කිහිප දෙනකුගේ උවමනා නිසා අද මුලු රටම බිල්ලට දෙමින් යනවා. අද කතානායකගේ පඹයො පුච්චනවා සමහරු. මේ පාර්ලිමේන්තුවේ කතානායක ව්‍යවස්ථාවට අනුව සහ ස්ථාවර නියෝගවලට කටයුතු කළ නිසා ඔහු පහරකෑමට පත් වෙනවා. කතානායකට විරෝධය දක්වන්න අවශ්‍ය නම් ස්ථාවර නියෝග අනුව මේ සභාවෙදි කටයුතු කරන්න පුලුවන්."

  • නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණේ.
  •  ඉෂාක් රහුමාන් මහතා කතා කරයි.

"බොහොම පැහැදිලිව ලියැවුණු ව්‍යවස්ථාවක් අපට තිබෙනවා. නමුත් ඒ ව්‍යවස්ථාවට අනුව නෙමෙයි දැන් වැඩ කරන්නේ. ඔක්තෝබර් 26 වෙනකම් මහතීර් මොහොමද්, ලීක්වාන් වගේ වෙන්න හිටියා. ඉන් පස්සේ එය ඈත් වුණා. අපේ රටට වගේම වැරදි කරපු නායකයො හිටපු රටක් හැටියටයි අද ලංකාවේ ලෝකයේ කොං වෙලා තියෙන්නේ. ඩොලරය රුපියල් 180ට වැඩි වෙලා තියෙනවා. මේ සියල්ල කරන්නේ ලංකාවේ ඉන්න කෝටි දෙක හමාරක් වෙුනවෙන්ද? පාර්ලිමේන්තුවේ ඉන්න 225 බල ලෝභය වෙනුවෙන්ද? එදා නීතිය රකින පොලිස් නිලධාරීන්ට ගහන හැටි අපි දැක්කා. අපිට හදිස්සියට උදව් කළ පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට පුටුවෙන් ගහපු විදිය දැක්කා. මගේ පුතත් ඉස්කෝලේ යන පොඩි ළමයෙක්. පුතා සිකුරාදා උදේ බොක්ෂින් බලන්න ඕන කිව්වා ඉස්කෝලේ යන්නේ නැතුව. ඉස්කෝලේ ගිහින් ඉන්න කිව්වාම කිව්වා උදේ පාර්ලිමේන්තු නිසා බොක්ෂිං බලන්න පුලුවන් කියලා. මෙහෙම හැසිරෙන මන්ත්‍රීවරුන් තෝරලා හවන්න එපා.  මම මන්ත්‍රීවරයකු ලෙස පත් කරලා අවුරුදු තුනයි. අපි එක්ක පසුපෙළ ඉන්න මන්ත්‍රීවරු තවම හොඳට ඉන්නවා. එයාලත් ඇමැතිවරු වුණාට පස්සේ කොහොම වෙයිද දන්නේ නෑ.  මම හැම මාසෙම ආසනයේ ගම්මාන හැම එකකටම ගියා. මට කෝටි 50ක් දෙන්නම් කිව්වා. මාත් එක්ක පත්වුණු අනිත් ඇමැතිවරුන්ගේ කොන් කිරීම් තිබ්බත් මුදල් වලටත් තනතුරුවලටත් ජනවරම පාවලා දෙන්නේ නෑ. අපිට කළ අසාධාරණවලට පාඩමක් උගන්වන්න කල්පනා කළා. ගයන්ත ඇමැතිතුමා වගේ කිහිප දෙනකු අපේ දුක අහලා අපිට උදව් කළා. අපේ සමහර ඇමැතිවරු ගැරඬියට ලාම්පුතෙල් ගැහුවා වගේ දුවනවා ඉස්සර. දැන් අපේ කරට අත දාගෙන කතා කරනවා. ඉස්සරත් එහෙම තිබ්බා නම් කොච්චර හොඳ ද? මෙතනින් පස්සේ ආණ්ඩු හදලා ඇමැතිකම් ගන්න ඇමැතිවරුන්ට පාඩමක් කියා දෙන්න."

  •  තුෂාර ඉඳුනිල් මහතා කතා කරයි.

මෛත්‍රීපාල මහත්තයා අපි සියලු දෙනාට කළේ මනමේ කුමාරිය වැදි රජ්ජුරුවන්ට කඩුව දුන්නා වගේ වැඩක්. ජනාධිපති තාත්තා පොතේ අවසානයේ තියෙන්නේ 2015 ජනවාරි 09 පාන්දර රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රථමයෙන් සුභ පැතුවා කියලා. එහෙම සුබ පැතුව කෙනාට තමයි අද මෙහෙම කරන්නේ? පහුගිය පළාත් පාලන ඡන්දයෙදි පොහොට්ටුව ජයග්‍රහණයක් ලබා ගත්තා. අපි දිනන්න තිබ්බ එක නැවැත්තුවේ ජනාධිපතිවරයා. මොකද පළාත් පාලන ඡන්දය කල් දැම්මේ ජනාධිපතිවරයා.එක් මන්ත්‍රීවරයෙක් කියලා තිබ්බා පිපීගෙන ආපු පොහොට්ටුව බලයට කෑදර අය හපාගෙන කෑවා කියලා. තව කෙනෙක් කියලා තිබ්බා මෛත්‍රීපාල මහත්තයා මහින්ද මහත්තයාගේ ඔළුවේ ඔට්ටුන්න තියලා සරම කැඩුවා වගේ කියලා. දැන් ඔට්ටුන්න ඔළුවේ. සරම නෑ හෙළුවෙන්. සරම ඇඳගන්න අත ගත්තොත් ඔටුන්න ගන්නවා. ඔටුන්න බේරගන්න ගියොත් සරම නෑ. සරම ඇඳගන්න ගියොත් ඔටුන්න නෑ. මොවුන්ට තියෙන්නේ රට බේරා ගැනීමේ උවමනාවක් නෙමෙයි. තමන්ගේ නඩු ටික බේරාගන්නයි හදන්නේ. බුදු සරණයි දෙවි පිහිටයි කියලා බෝඩ් එක ගැහුවට ඇතුළේ අදින්නේ හරක් මස්."

  • සිඩ්නි ජයරන්ත මහතා කතා කරයි.

"ජනාධිපතිවරයා  කිව්වා මන්ත්‍රීවරුන් මිලියන ගණන් වලට විකුණුනා කියලා. කවුද මන්ත්‍රීවරුන් මිලට ගත්තේ? කවුද ඒ තත්ත්වය ඇති කළේ? එදා පාර්ලිමේන්තුවේ සිදුවුණ දේවල් අපි දැක්කා. කතානායකතුමා සම්භාවනීයට කටයුතු කළ ආකාරය අපි දැක්කා. එතුමා ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ස්තුති වෙනවා. මම දැන් අවුරුදු 28ක් දේශපාලනයට ඇවිත්. මම විවිධ රාජ්‍ය නිලධාරීන් එක්ක කටයුතු කරලා තියෙනවා. මම දැකපු හොඳම රාජ්‍ය නිලධාරීන් ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිලධාරීන්ගේ කාරුණික භාවය තුට්ටු දෙකට දාලා අශීලාචාර විදියට මන්ත්‍රීවරුන් හැසිරුණා. සාමාන්‍ය පෙළ නැති මන්ත්‍රීවරුන් හොඳට හිටියා. උගත් යැයි කියන මන්ත්‍රීවරුන් තමයි එහෙම හැසිරුණේ. විවිධ චෝදනා ලැබුණු අය තවමයි එහෙම හැසිරුණේ."

  • නලින්ද ජයතිස්ස මහතා කතා කරයි.

"ඔක්තෝම්බර් 26 සිට සෑම සිකුරාදම ජනපතිගෙන් නිකුත් කරන ගැසට්ටු නිසා තමයි මේ කැළඹීමේ ඇති වුණේ. අදත් සිකුරාදා. අදත් හවස 7ට විතර හඳ මෝදු වෙනවා. අද මොනවා වෙයිද කියලා අපි දන්නේ නෑ. මෙය තව අගමැතිවරයකු ඉවත් කරලා අලුත් අගමැතිවරයකු පත් කිරීමක් නෙමෙයි. බහුතරය හදා ගන්න කෝටි 50ට 60ට මන්ත්‍රීවරුන්ට ලන්සු තියන්න ගත්තා. විවිධ හේතු නිසා ඒකට යොමු වෙන්න මන්ත්‍රීවරුන් හිතන්න පුලුවන්. ඔවුන් ඇමැතිකම් වලට, සල්ලිවලට ගන්න උත්සාහ කළා. එහෙම කරලා බහුතරය ගන්න බැරි වුණාම කතානයකත් එක්ක කතා නොකර පාර්ලිමේන්තු සැසිය කල් තිබ්බා. ඒ කරලත් බහුතරය හදා ගන්න බැරි වුණාම පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨත්වය යම් තරමකට පෙන්නපු නිසා අපිය 14 පාර්ලිමේන්තු එන්න පුලුවන් වුණා. ඉන් පසු විශ්වාස භංග දෙකක් සම්මත කළා. දැන් කියනවා එය පිළිගන්නේ නෑ. තීරණාත්මකව වාර හතරක් කුමන්ත්‍රණ කාරීන් පරාජයට පත් කළා. හඬ අනුව පරාජයට පත් කළා. අත්සන් කරලා දීලා පරාජයට පත් කළා. ඉලෙට්‍රෝනික් ඡන්ද ක්‍රමයෙන් පරාජයට පත් කළා. හඬිත්, අත්සන්වලිනුත්, ඉලෙට්‍රෝනික් ඡන්දයෙනුත් ඔබට මෙය තේරුම් ගන්න බැරිද? 2014 නොවැම්බර් 21 එවකට අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පොදු අපේකෂකයා විදියට එළියට ඇවිත් නව නගර ශාලාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වේ විධායක ජනාධිපතික්‍රමය ඉවත් කරනවා කියලයි. ඕලෙවල්වල් පාස් නැති අය පාර්ලිමේන්තුවට ඇවිත් යකා නටනවා කියලා අපි කියනවා. එයාලා තමන් දන්න ශිල්ප දානවා. ඒත් අපි දැක්කා විශේෂඥ වෛද්‍යවරියන්, හැත්තෑ ගණන්වල ඉඳන් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් කතානායක පුටුව උස්සන් යනවා. අපි කුමන්ත්‍රණකාරීන්ට එරෙහිව අපි වාර හතරක් අපේ බලය පෙන්නුවා.මීළඟ දවසේ ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා."

  • ආශු මාරසිංහ මහතා කතා කරයි.

පාර්ලිමේන්තුවේ හරියට හැසිරෙන්නේ නැති මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කෙරන නීති පැනවිය යුතු බවට මම යෝජනා කරනවා. තුෂාර ඉඳුනිල් මන්ත්‍රීතුමයි, මුජිබර් මන්ත්‍රීතුමයි අසභ්‍ය පොතක් ගැන කතා වුණා. මෙය අසභ්‍ය පොතක් නෙමෙයි. මෙම පොත කියෙව්වාම මට හැඟෙන්නේ හැඟීම් බර පොතක්. අසභ්‍ය පොතක් කියන එක චතුරිකා මහත්මියට කරන අගෞරවයක්. මේ පොත ලියලා තියෙන්නේ පිය සෙනෙහසින් තාත්තා ඇත්ත වශයෙන්ම කරපු දේවල් ගැන කියලයි මම හිතන්නේ. මේ දියනිය වින්ද මානසික වද වේදනා ගැන මෙහි තිබෙනවා. රාජපක්ෂලාගෙන් ලැබුණු තර්ජන ගැන එහි තිබෙනවා. නොවැම්බර් 22 (2014) ඉඳන් රාජපක්ෂලාගෙන් පියාට ලැබුණු ප්‍රතිචාර ගැන මෙහි තිබෙනවා.  තාත්තා කෙනෙක් ගැන බයෙන් ලියන කාරුණික සිතුවිලියි මේ පොතේ තියෙන්නේ. අසභ්‍ය පොතක් නෙමෙයි මෙය. මේ පොත දිහා බලාගෙන අපට වෙන්නේ හූලනවද? නැතිනම් දියණිය ගැන අනේ අපොයි කියනවද?  දියණියට කවදා හරි කියන්න තියෙන්නේ මේ පොත ලිව්වේ මම නෙමෙයි කියලයි. එහෙම නොවුණොත් මේ පොතට අනුව හෘද්ධ සාක්කියෙන් වැළපෙන්න වෙනවා."

  •  එම් තිලකරාජා මහතා කතා කරයි.

"ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා හැරියට පස්සේ අපි හිටපු මන්ත්‍රීවරුන් වුණා. ඒ සම්බ්නධයෙන් නීති ඉදිරියට ගියාට පස්සේ ගැසට්ටුවට අතුරු තහනමක් ලැබුණා. ඒ අනුව අපි යළිත් මන්ත්‍රීවරුන් වුණා. ආණ්ඩු පක්ෂයේ නියමිත සංඛ්‍යාවක් හිටියේ නෑ. ඡන්ද විමසීමක් කියපු ගමන් ආණ්ඩුව බියට පත් වුණා. අපි ඡන්දයකට ඕනෑම අවස්ථාවක සූදානම් කියා කියන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඡන්දයක් විමසන සෑම අවස්ථාවකදීම ඝෝෂා කරන සහ පාර්ලිමේන්තුවෙන් පිටව යන පිරිසක් බවට පත් වුණා. පාර්ලිමේන්තුව තමයි උත්තරීතර ආයතනය.  පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පස්සේ රාජාසන කතාව කළෙත් නෑ.  ඉන් පස්සෙයි ස්ථාවර නියෝග අත්හිටුවලා විශ්වාස භංගය ගෙනාවේ. ඡන්ද විමසීම්වලින් පැන යන්න කුමන්ත්‍රණය කළා. කතානායක ඉදිරිපත් කළ නම් 12 ගැන ඡන්ද විමසීමට ඉදිරිපත් නොවී ඔවුන් පැන දුවනවා අපි දැක්කා.  ඉලෙට්‍රෝනික ක්‍රමයෙන් අපි සනාථ කළා ව්‍යාජ ආණ්ඩුවට විරුද්ධයි කියලා. පාර්ලිමේන්තුවට වැඩියෙන්ම නොපැමිණි මන්ත්‍රීවරයා කියනවා වතුකර ජනතාවගේ රුපියල් 1000 ඉල්ලීම ලබා දෙනවා කියලා. රුපියල් 600ක වැටුප රුපියල් 700 කරලා රුපියල් 1000ක් කරනවා කියලා ව්‍යාජ ප්‍රචාරයක් යවනවා. එහෙම රුපියල් 100ක් වැඩිපුර දීලා පසුව එය ඔවුන්ගෙන් අය කර ගන්නත් මේ අය උත්සාහ කරනවා. 1000ක් දෙන්න බැරි වුණොත් ඉවත් වෙනවා කිව්වා. දැන් ඔවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් විය යුතුයි."

  • විජයපාල හෙට්ටිආරච්චි  මහතා කතා කරයි.

"පෘථග්ජනයෝ විදියට කවුරු අතිනුත් වැරදි සිද්ධ වෙනවා. ඒ වැරදි හදාගන්න ඕනා. බොහෝම අහිංසකව පූස්පැටව් වගේ වාඩි වෙලා හිටිය අපටත් චෝදනා එල්ල වුණා. එකදාන් නවසිය හැත්තෑ ගණන්වල ආපු මන්ත්‍රීවරුනුත් කතානායකවරයාගේ පුටුව පෙරලනවා අපි දැක්කා. අපට විවිධ ආගමක් තිබ්බාට අපි පාර්ලිමේන්තුවේ ආගමක් ලෙස අදහන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අත්හැරීම ගැන කතා කළ සිරිසේන මහත්තයා ද ඉන්නේ කියලා අපට ප්‍රශ්නයක්. 26 වැනි දා අපි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉගෙන ගන්න සංචාරයකට යන්න හිටියේ. ගුවන් තොටුපොළේදි මහින්ද මහත්තයා අගමැති කරලා කිව්වාම මට පොළොව පලාගෙන යන්න හිතුනා. ඡන්දෙන් දිනුවත් මහින්ද මහත්තයා අගමැති කරන්නේ නෑ කිව්ව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔහු අගමැති කර තිබුණා. අනාගතේ ගැන මේ රටේ ජනතාවට විශ්වාසයක් ඇති විය යුතුයි. කවදා හරි සිංහල වංශකතාවේ ලියැවෙයි පාර්ලිමේන්තුවේ කළු පැල්ලමක් ඇති කාලයක් විදියට. දිගටම මහින්ද මහත්තයා මෙහෙම අගමැති පුටුවේ තියා ගත්තොත් ජනාධිපතිතුමාට නිල නිවසෙන් එළියට යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ. උත්සව වලට යන්න වෙයිද්ද දන්නේ නෑ. ජනතාව මොනවා කරයිද දන්නේ නෑ." 

  • හේෂාන් විතානගේ මහතා කතා කරයි.

මේ ඇති වෙලා තිබෙන තත්ත්වයේ ප්‍රධාන පාර්ශ්වකරුවා හැටියට ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා ගණනාවකට ලක් වෙලා තිබෙනවා. ඔහු මේ උත්තරීතර පාර්ලිමේන්තුව වසර ගණනාවක් නියෝජනය කළ මන්ත්‍රීවරයෙක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය ක්‍රියාත්මක වීම ගැන අබමල් රේණුවක දැනුමක් නැති කෙනෙකු ලෙස දැන් පෙනෙනවා. ව්‍යවස්ථාදායකයට අධිකරණයට තිබෙන බලය ගැන වැටහීමක් නැත්නම් හෝ ඊට උපදෙස් දෙන්න අය තමන් ළඟ නැත්නම් අපිට මොකක්ද කියන්න තියෙන්නේ? රටේ රාජ්‍ය යාන්ත්‍රණය නැවතිලා. ආර්ථික අන්ත අසරණ තත්ත්වයට පාගලා දාලා තිබෙනවා. දැන් මාසෙකට ආසන්න කාලයක් තවම උත්තරයක් හොයලා නෑ. ව්‍යවස්ථාදාකයේ බලය ජනාධිපතිට තේරෙන්නේ නෑ වගේම මහින්ද රාජපක්ෂ මහතාට තේරෙන්නෙත් නෑ. එක්කෝ තේරිලා නොතේරුණා වගේ ඉන්නවා. ව්‍යවස්ථාදායකය කුඩු කාරයන්ට එන්න පුලුවන් තැනක් නොවිය යුතුයි. පහුගිය කාලයේ පොලිසිය කුඩු කාරයන්, කසිප්පු කාරයන් ඇල්ලුවා. ඒ තරහට තමයි පොලිසියට ගැහුවේ. මේ රටේ ජාතියට අබමල් රේණුවක ආදරයක් තිබෙනවා නම් වරද නිවැරදි කරන්න."

  • බිමල් රත්නායක මහතා මූලාසනයෙන් යැයි හේෂාන් විතාන මහතා මූලාසනයට යෝජනා කර ස්ථිර කර ගනී.
  • ඉන්පසු හේෂාන් විතානගේ මහතා මූලාසනාරූඪ විය.
  •  මුජුබර් රහුමාන් මහතා රීති ප්‍රශ්නයක් මතු කරයි

    බස්නාහිර සභාවේ අසභ්‍ය චිත්‍රපට බැලීම ගැන පසුගියදා වාර්තා වුණා. ඉඳුනිල් තුෂාර මන්ත්‍රීතුමාත් මේ සභාවේ අසභ්‍ය පොතක් කියවනවා.

  •  ඉඳුනිල් තුෂාර මහතා - මගේ නම කියවුණා. මම කියවන්නේ චතුරිකා සිරිසේන ලියපු ජනාධිපති තාත්තා පොත.

  • චමින්ද විජේසිරි මහතා කතා කරයි.

"ආණ්ඩු පක්ෂයේ උදවිය පහුගිය දිනවල කළ කුමන්ත්‍රණයේ පරාජය බාර අරගෙන තිබෙනවා. ජනාධිපතිවරයාගේ ගමන ගැන මම දැන ගත්තේ ජනාධිපතිවරණයෙන් ටික දිනකට පසුවයි.  මේ වැඩ පිළිවෙළ නිසා රට කොහෙටද ඇදලා දාලා තියෙන්නේ කියලා පැහැදිලියි. ජනතාව සාප කරන්න කලින් සාධාරණ තීන්දුවක් ගන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා. වැරදීම නිවැරදි කරන්න දැන් හරි පුලුවන්."  

  • මුජිබර් රහුමාන් මහතා  කතා කරයි.

අද ඊ්නියා අගමැතිත් සභාගැබට ආවේ නෑ. ඒ ආවේ නැත්තේ එතුමා දන්නවා ඡන්දයක් විමසද්දී 113 පෙන්වන්න බැරි බව.  එදා ජනවාරි අටෙන් පස්සේ ශ්‍රීලනිපයේ 10ක් පමණ අපිත් එක්ක එකතු වෙන්න හිටියා. අපේ අගමැතිතුමා කිව්වා පක්ෂ කඩලා ආණ්ඩු හදන්න බෑ කියලා.  2015 පස්සේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ගෙනාපු ජනාධිපතිවරයා පරණ තැනටම තල්ලු කලා. ජනාධිපතිවරයා දියවන්නා වටරවුමට ඇවිත් කෑ ගහලා කිව්වා 113 තියෙනවා කියලා. එහෙම කියලා දවස් දෙක තුනක් ගියේ නෑ. පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒ ජනාධිපතිතුමාම අපේ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම්වලට කතා කළා. එතුමාලගේ ඔය ඉන්න උදවිය අපේ මන්ත්‍රීවරුන්ට මුදලට කතා කළා. ඕක තමයි කියන්නේ කූඩැල්ලා ගෙනත් මෙට්ට උඩ තියන්න බෑ කියලා. 

  • අජිත් පී පෙරේරා මහතා කතා කරයි

"පහුගිය 26 මේ කුමන්ත්‍රණය ආරම්භ වුණාට පස්සේ  මෙය පරාජය කළ යුතුයි කියන තැන ඉඳන් අපි මේ අරගලයට නායකත්වය දෙද්දි මට ලැබුණේ අල්ලස් යෝජනා නෙමෙයි මරණවා කියලා මරණ තර්ජනයි. ඒ තර්ජන කළ අය මීට කලින් මිනී මරපු අය. මිනීමරලා පුරුදු අය.  ඒ තර්ජනයේ යථාර්තය මට පෙනී ගියත් පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය යට ගහන්න කැස කවන විධායකයේ ප්‍රධානියා ඇතුළු කණ්ඩායමත් දේශපාලනිකව පරාජයට පත් කිරීමේ නියත අරමුණ ඇතිව අපි සටන් කළා. තවම සටන් කරනවා. අද පාර්ලිමේන්තුවේ අපි 121ක් ලබා ගත්තට මේ නීතිවිරෝධී පිරිස තවමත් බලය අත්හැර යන්නට සූදානම් නෑ.  මහින්ද රාජපක්ෂ හොර අගමැතිවරයකු වුණාට ඔබ නීත්‍යනුකූල ජනපතිවරයෙක්. මේ ප්‍රශ්නය ඉක්මණින් විසඳන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙම නැති නම් ඔබව දේශපාලනිකව පරාජය කරන බව සනාථ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිටින සියලුම දෙනා එකතු වෙලා ඔබව පරාජය කරනවා. එදාට හිතෙයි ප්‍රමාද වෙලා වැඩියි කියලා. ජනාධිපතිවරයට මුක්තියක් තියෙනවා නඩු පැවරීමෙන්. හැබැයි ඒ මුක්තියට සීමාවන් තිබෙනවා. ධුරය දරලා ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ වසරකින් පස්සේ ජනාධිපතිත් නීතිය ඉදිරියේ චෝදනාවට ලක් වෙනවා. ඒ නිසා මිත්‍රයෙක් විදියට මම ජනාධිපතිවරයාට කියනවා අපරාධ සම්බන්ධ හොඳ දැනුමක් ඇති නීතීඥයකුගෙන් උපදෙස් ගන්න."

  • නලීන් බණ්ඩාර මහතා කතා කරයි

"අද අපේ රටේ ආයෝජන ගලාගෙන යනවා. තියෙන ආයෝජන ටිකත් යනවා. ඒ දවස්වල වැඩියෙන්ම ප්‍රවෘත්ති නිර්මාණය කළ කෙනා තමයි පොලිස්පතිතුමා. අපි ඔහුගේ හරි දේට හරි කිව්වා. වැරදි දේට වැරදි කිව්වා. ඒ දවස්වල පොලිස්පතිව අයින් කරන්න කියලයි ඔවුන් කිව්වේ. අද පොලිස්පති කා එක්කද ඉන්නේ? අද පොලිස්පති ගැන කතාවක් නෑ. නාමල් කුමාර කියලා පුද්ගලයෙක් දාගෙන ඝාතන කුමන්ත්‍රණ කතාවක් කිව්වා. අද කොහෙවත් කියනවද ඒ ගැන? ඊයේ පෙරේදා අහන්න ලැබුණා ඔහු පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන බව ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ජනාධිපතිවරයා ලොකු වරදක් කරලා තියෙනවා. රටකට අංක එකට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදය තියෙද්දි එහි වටිනාකම මිනිස්සුන්ට දැනුනේ නෑ. එය නැතිවෙද්දියි වටිනාකම දැනෙන්නේ."

  •  සුනිල් හදුන්නෙත්ති මහතා කතා කරයි.

"අද තමයි අපේ පාර්ලිමේන්තුව රටේ ජනතාවට දැනෙන ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ. පාර්ලිමේන්තුව මේ ආකාරයට කැඳවීම ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ තාවකාලික ජයග්‍රහණයක්. අපිට මොන දේශපාලන මතිමතාන්තර තිබ්බත් රටක් හැටියට ලෝකයක් ඉස්සර හා  අපකීර්තියට ලක් වෙන්නේ ජනතාවත් එක්ක. මේ අවිනිශ්චිත තත්ත්වයට මේ රට පත් කළේ බලය හදා ගැනීමේ පවිටු උවමනාව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්. ඉතාම පෞද්ගලික අවශ්‍යතාවන් ටිකක් තමයි ජනාධිපතිවරයාට තිබෙන්නේ. එතුමාගේ පුද්ගලිකත්වය මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවක් නෙමෙයි. කෝප් කමිටුවෙන් විමර්ශන කළා. වාර්තා පහක් ඉදිරිපත් කළා. තව ඉදිරිපත් කරන්න තියෙනවා. පාර්ලිමේන්තුව ගැන ජනතාවගේ විශ්වාසය ඇති වුණා. පාර්ලිමේන්තුව කියන්නේ බලය පොරකන තැනක් බවට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ කල්ලිය පත් කළා."

  •  නියෝජ්‍ය කතානායකරයා මූලාසනයෙන් ගිය අතර බිමල් රත්නායක මන්ත්‍රීවරයා මූලාසනාරූඪ විය.
  • කබීර් හෂීම් මහතා කතා කරයි.

"ගිලෙන නැවෙන් මීයෝ පනිති කියනවා වගේ විපක්ෂයේ අය විවාදයේදි මහත්වරුන් වගේ හැසිරෙන්නේ නැතුව ගියා. එකක් කඩතොලු වසා ගන්නට ගිහින් මට වුණු කාරියා, දෙකක් කඩතොල් හදා දුන්නැයි ඉඳුරුවේ ආචාර්ය කියන කතාව මට මතක් වුණා. ජනාධිපතිතුමාටත් මේ තත්ත්වය වෙලා තියෙනවා. දැන් කඩකොලු දෙකක් නෙමෙයි කිහිපයක්ම හදලා.  අපි දින 100 තුළ ජනතාව වෙනුවෙන් සහන රැසක් දුන්නා. ජනතාව ජනවරමකින් ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් දීලා හොර ඇමැතිකම්වල වාඩි කරලා තියෙනවා.
එක වරදක් වහ ගහන්න වැරදි කීයක් කරන්න වෙලාද කියලයි අපිට හිතන්න තියෙන්නේ. මේ සටන එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ වාඩි වෙන්න කරන සටනක් නෙමෙයි. අපිට ඇමැතිකම් ලබා ගන්න කරන සටනක් නෙමෙයි. වසර 22ක් විපක්ෂයේ වාඩි වුණු අය. ඒ කාලේ අපි අතරමැද්දෙ දි ආණ්ඩු කඩාකප්පල් කළේ නෑ. පස්සේ දොරෙන් බලයට එන්න හැදුවෙත් නෑ. අපි අපේ රාජකාරිය හරියට කළා."

"මොන වරප්‍රසාද දෙනවා කිව්වත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක්  ප්‍රතිපත්ති පාවා දුන්නේ නෑ. බලපෑම්වලට මුදල් වලට ජනවරම පාවා දුන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුයි අපි මේ ප්‍රතිපත්තියේ හිටියේ. ජේ ආර්ගේ ව්‍යවස්ථාව පැය 24න් ඉරලා දානවා කිව්ව අය ඒ ආණ්ඩුව තවත් ශක්තිමත් කරලා ඒකාධිපති පාලනයක් ගෙන යනවා. දේපොළ විකුණනවා කියලා අපේ ආණ්ඩුවට කියන අයට අපි කියනවා වානේ සංස්ථාව වික්කේ, ඔරියන්ට් ලංකා වික්කේ, ටෙලිකොම් එක පුද්ගලීකරණය කළේ, ඇඹිලිපිටිය කඩදාසි සංස්ථාව වික්කේ, කිලිනොච්චියේ ගොවිපොළ වික්කේ, නුවරඑළියේ ගොවිපොළවල් කිහිපයක් වික්කේ මහින්ද - මෛත්‍රී සිටිය හමුදාවෙන්. ශ්‍රැංග්‍රිලා එකට, පෝට් සිටිය තියෙන ප්‍රදේශය සින්නක්කරව ලියලා දුන්නා. පෝර්ට් සිටිය ලියලා දුන්නේ අපේ හමුදාවට වරායට යන්නත් බෑ කියලා. දේශප්‍රේමිය වෙනුවෙන් ආණ්ඩුව ගන්න ඕනා කියන අය තමයි ඕවා කළේ. මම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගෙන් අහන්නේ මේවා දැනගෙන කොහොමද මේ අයට ආණ්ඩුව බාර දෙන්නේ? ලංකාවට නව ලිබරල්වාදය හරියට හදුන්වලා දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. විදේශ රටවල්වලින් බැඳුම්කර නිකුත් කරලා ‍ඩොලර් වලින් ණය ගන්න දේශීය බැංකුවලට බල කළේ මහින්ද මහත්තයාගේ කාලේ. මේ නිසා වසර තුනට රුපියල් කෝටි 710 ක් පාඩු වුණා. මේ ටිකේ සංස්ථාවලට පත් කරන්නේ පහුගිය කාලේ රට සූරාගෙන කෑ හොරු ටික. යුද්ධය ඉවර වෙලා වසර 6ක් විතර ඉඩ දුන්නා එයාලට ආණ්ඩු කරන්න. ඒත් ප්‍රශ්න විසදුවේ නෑ. අපි පාර්ලිමේන්තුව තුළ අරගල කරනවා. එයින් පිට වීදි වලත් අරගල කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය පුංචි මිනිහාට තේරෙන්නේ නෑ. රටේ හැම මිනිහෙකුටම තමන්ගෙම කියලා ඉඩම් ඔප්පුවක් දෙන වැඩ පිළිවෙළ ආරම්භ කළා. හැම පවුලකටම නිවසක් දෙන වැඩ පිළිවෙළ අපි ක්‍රියාත්මක කළා. හැම පාසල් සිසුවකුට රක්ෂණයක් ලබා දුන්නා. අලුතින් ලක්ෂ 10කට සමෘද්ධිය දෙන වැඩපිළිවෙළක් සකස් කර හිටියා. උපාධිධාරී පත්වීම් විසි පන් දහසක් දෙන්න හිටියා. රස්සා පනස් දහසක් මේ අයවැයෙන් දෙන්න හිටියා. ඒ සියල්ල ජනතාවට අහිමිවුණා. නීත්‍යනුකූල ආණ්ඩුව යළි පත්කරන්න අපි බලපෑම් කරනවා."

  • හර්ෂණ රාජකරුණා මහතා කතා කරයි.

"අද ඡන්දයේ ප්‍රතිඵලයත් සමඟ ජනාධිපතිවරයාට තීරණයක් ගන්න පුලුවන්. අද සිකුරාදා දිනය. මුලු රටම සිකුරදා දිනේ එනකම් බලාගෙන ඉන්නේ ජනාධිපතිවරයා ගන්න තීන්දු තීරණ බලන්න. එක මන්ත්‍රීවරයෙකු අසනීප නිසා ආවේ නෑ. අපිට 122ක බහුතරයක් තිබෙනවා. අද සිකුරාදා මේක නිවැරදි කරන්න ජනාධිපතිවරයාට පුලුවන්. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට මේ රට බලාගෙන ඉන්නවා. මේ යන ක්‍රමයට ජනතාව විරුද්ධයි. මේ ක්‍රමය ජනතාව හෙලා දකිනවා."

  • කාවින්ද ජයවර්ධන මහතා කතා කරයි.

කල් තැබීමේ යෝජනාව වෙනුවෙන් පැවැත්වෙන විවාදයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ගැන දැඩිව විවේචනය කළ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා තම කණ්ඩායමේ ද වැරදි ඇතැයි පැවසීය.

‘‘ඉස්සර නම් අපිව කරපිංචා ගානට දාලා තිබ්බා. අපිව ගණන් ගන්නේ නෑ. හම්බුණත් ෆයිල් මිටිය අරගෙන යනවා. දැන් නම් එහෙම නෑ. එදා අපි කිව්ව දේ ඇහුවා නම් හොඳයි. ‘‘

  • රවුෆ් හකීම් මහතා කතා කරයි.

"මේ පාර්ලිමේන්තුවේ සභාවාරයක් නැවත ආරම්භ කිරීමේදි කළ යුතු කාර්යක් හැටියට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරන්න නිවේදනයක් කළා. ඒ ගැන කතානායකවරයාට ප්‍රසංශාව පළ කරනවා. තමාගේ පරාජය පිළිගන්නේ නැතිව, මීට කලින් කළ ගාලගොට්ටිය නොකර සභාවෙන් ගිය ඊනියා කල්ලිය රාජ්‍ය මාධ්‍ය භාවිත කරමින් වැරදි තොරතුරු සමාජ ගත කරන මොහොතකයි මේ කල් තැබීමේ විවාදය සිදු වෙන්නේ. නොවැම්බර් 26 පටන් ගත්ත ප්‍රශ්නයක් නෙමෙයි මේ. මේක පටන් ගත්තේ පෙබරවාරි 10 වැනි දා. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල පිටවුණාට පස්සේ ඉඳලා යම් කුමන්ත්‍රණයක් පැවතුනා. අගමැතිවරයා පහ කරලා වෙනත් අගමැතිවරයකු පත් කළ යුතු කියා ගෙන ගිය ව්‍යාපාරය රටේ අගමැතිවරයකු නැති තත්ත්වයකට පත් කරලා තිබෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණ පද්ධතිය මතයි රටේ පරිපාලනය සිදු වෙන්නේ. දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කළ වැඩ ගැන වජිර අබේවර්ධන මහතා සඳහන් කළා. අග්‍රාමාත්‍යවරයා අස් කරන් ව්‍යවස්ථාවෙන් විධායකයට බලතල නැතිව තිබිය දී අගමැති ඉවත් කළා. ඉන් පසු අපිව සහ තවත් මන්ත්‍රීවරුන් තමන් පැත්තට ගන්න පාර්ලිමේන්තුව අත්හිටුවන්න ගත්ත තීරණයට එරෙහිව කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුව 14 කැඳවන්න තීරණය කර තිබුණා. ඒ අතරතුර අපට විශාල අබියෝගයකට මුහුන දෙන්න සිදු වුණා. මන්ත්‍රීවරුන් කණ්ඩායමම එකට සිටිමින් මේ අභියෝගයට මුහුණ දුන්නා."

"අපේ ආත්ම ගෞරවයට කැළලක් හැටියටයි මේ සිදුවීම දැක්කේ. අපිව බිලිබෑමට ගත් උත්සාහය වළක්වා ගැනීමට අපිට මක්කම යන්න වුණා. එහේ ගිහින් අපි හැමෝම පොරොන්දු වුණා මන්ත්‍රීවරුන් බිලිබාන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ඉන් පසුවයි ව්‍යවස්ථාවට පිටින් පාර්ලිමේන්තු විසිරෙව්වේ සම්මත වූ විශ්වාස භංගය එතුමට අගතියක් නොවන පරිදි සම්මත කරලා දෙන්න කියලා ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් උඩ ආයෙත් සම්මත කළා. නමුත් ජනාධිපති එය ප්‍රතික්ෂේප කළා.  කොහොමද එතුමා අමාත්‍ය මණ්ඩලය පත් කළෙත් අදියර කිහිපයකින්. එහෙම කළේ ඈවරයි ඈවරයි කියලා වෙන්දේසියේ දානවා වගේ. මන්ත්‍රීවරුන් අමාත්‍ය ධුරය ලබා ගැනීමේ කෑදරකමින් හරවා ගන්න පුලුවන් වෙයි කියලයි විධායකය කටයුතු කළේ. අපි අපට ලැබුණු ජනවරමට පිටු නොපා මේ තීරණය ගැනීම ගැන මගේ මන්ත්‍රී මණ්ඩලයට මා ස්තුතිවන්ත වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමන මේ ක්‍රියාදාමයට දිගින් දිගටම විරුද්ධ වෙනවා. ඡන්දයක් ඕනා කියලා රට පුරා දැන් පෝස්ටර අලවනවා. ඡන්දයට මුහුණු දෙන්න අපි සූදානම්. නමුත් පස්ස දොරෙන් බලය උදුරාගත්තු නීති විරෝධී ආණ්ඩුවක් සමඟ ඡන්දය මුහුණ දෙන්න අපට බෑ. මේ අස්ථාවරභාවය දිගටම ගෙන ගියහොත් අපිත් ඉල්ලනවා රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ නීති විරෝධී ආණ්ඩුව දෙන නියෝග ප්‍රතික්ෂේප කරන්න කියලා. ගිය 14 වැනි දා සිට මේ රටේ අගමැතිවරයකු නෑ කියා කතානායක අරගෙන තිබෙන තීරණය කාටවත් අභියෝග කරන්න බෑ. විධායක ජනාධිපතිටත් එය කරන්න බෑ. කරන්න පුලුවන් එකම දේ කතානායකගේ තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනත් එය සම්මත කිරීම පමණයි. බහුතරය ඇති කෙනකුට අගමැති ධුරය ලබා දීලා අලුත් ආණ්ඩුවක් පත්කර රට ස්ථාවර කළ යුතු බව මතක් කරනවා."

  • වජිර අබේවර්ධන මහතා කතා කරයි.

"ඉතාමත් අවසනාවන්ත තත්ත්වයකට රට මුහුණ දීලා සිටියදී දේශබන්දු කරු ජයසූරිය මහතා සමස්ථ ජාතිය වෙනුවෙන් ජාතික මෙහෙවරක් ඉටු කරලා තිබෙනවා. කතානායකවරයාට ජාතයේ ගෞරවය පුද කරන්න කැමතියි. ගිය මාසේ 26 වැනි දා ඓතිහාසික වරදක් සිදු වුණා. අගමැති ධුරයේ පුරප්පාඩුවක් නැති අවස්ථාවක ව්‍යාජ අගමැතිවරයෙක් පත් වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහෙවත් ව්‍යාජ අගමැතිවරයෙක් පත් වුණාම ඉවත් කරන විදිය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නෑ. හොරෙන් ආවත් කොහොම ආවත් ඔහු ඉවත් කළ යුත්තේත් නීත්‍යනුකූල ක්‍රමවේදයටයි. නීත්‍යනුකූල ක්‍රමයට අවස්ථා දෙකකදි විශ්වාසභංග යෝජනා දෙකක් ගෙනත් සම්මත කළා. ඒකේ වගකීම තිබෙන්නේ ජනපතිට නෙමෙයි පාර්ලිමේන්තුවටයි. ව්‍යාජ අගමැතිවරයා නීත්‍යනුකූලව ඉවත් කළා කියා ඔහු නීත්‍යනුකූල අගමැතිවරයකු වෙන්නේ නෑ.එහෙම ඉවත් කලාට පස්සේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව නම් ගියමාසේ 26 තිබ්බ තත්ත්වයට පත් විය යුතුයි. ව්‍යාජ අගමැතිවරයකු පත් කළ මොහොතේ සිට සිදුවන සියලු දේ නීති විරෝධී දේවල් විදියටයි තිබෙන්නේ. 1993 දි දකුණු පළාත් සභාවෙත් මෙහෙම දෙයක් වුණා දැක්කා. අවසානයේ සමස්ථ යාන්ත්‍රණයටම 1994 දි ප්‍රතික්ෂේප වුණා. ජනාධිපතිවරයාට පුලුවන් අමාත්‍යංශවලට ලේකම්වරුන් පත් කරන්න. ලේකම්වරුන් ඇමැතිවරුන්ගේ නියෝග පිළිපදින්න බැඳිලා ඉන්නවා. නමුත් දැන් ඇමැති මණ්ඩපයක් නෑ. ඒ නිසා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම බිඳවැටිලා.මේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදීව විසඳගන්න අපි උත්සාහ කළා."

  • අඩෙයිකලනාදන් මන්ත්‍රී කතා කරයි 

"එදා පාර්ලිමේන්තුවේ ඇති කළ තත්ත්වය සෝචනියයි. කතානායකවරයාට එරෙහිව කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව හඬ නැගිය යුතුයි. අපිට මිනිස්සු කතා කරලා අහනවා අපේ පැත්තේ මිරිස් කුඩු නෑ පාර්ලිමේන්තුවෙන් මිරිස් කුඩු ගන්න පුලුවන්ද කියලා. පාර්ලිමේන්තු නිලධාරීනුත් මෙයින් අපහසුතාවට පත් වුණා.  ඔවුන් හිරකරලා තිබ්බා. ඔවුන්ට කිසි දෙයක් කරන්න අවස්ථාව තිබුණේ නෑ. ඉදිරියේදි මෙවන් සිද්ධි ඇති නොවිය යුතුයි. නීති සම්පාදනය කරන මේ සභාවේ උදවිය විදියට මේ වගේ දේවල් කිරීම වැරදි. කතානයකගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. මෙවැනි අනාරක්ෂිත තාවක් තිබිය දී ජනතාවගේ තත්ත්වය කෙසේදැයි ප්‍රශ්නසගහතයි. පක්ෂ බේදයකින් නැතිව ප්‍රචණ්ඩකාරීව හැසිරුණු උදවියට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

  • නියෝජ්‍ය කතානායකවරයා යළිත් මුලසුනට පැමිණියේය.
  • එඩ්වඩ් ගුණසේකර මහතා කතා කරයි 

"මේ රට 2015ට පෙර රට දූෂිත මට්ටමට පත් වෙලයි තිබුණේ. දේශපාලන පක්ෂ බේදයකින් තොරවයි ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගත්තේ. මේ රටේ ධනය සූරාගෙන ගන්න නෙමෙයි. අපි මිනිස්සු වෙනුවෙනුයි දේශපාලනය කරන්නේ. අපේ දූ දරුවෝ මැරුවත් මේ රට බේරාගන්නවා කියලා හිතලයි අපි ජනාධිපතිවරයා තෝරාපත් කර ගන්න එකතු වුණේ. අපට අවුරුදු තුනක් යනකම් කරන්න ආපු දේවල් කර ගන්න බැරි වුණා. අපි ණය තුරුස් ගෙවාගෙන ඉස්සරහට එද්දි තමයි අලුත් අගමැති කෙනෙක් පත් කළේ. ජනාධිපති කළ කාර්ය නිසා රට අස්ථාවර වෙලා තියෙනවා. ආයේ අවුරුදු 50කට වත් රට ඉස්සරහට ගන්න බැරි වෙන තැනට පත් වෙලා තිබෙනවා. අද පෙන්වා දුන්නා බහුතරය තිබෙන්නේ කාටද කියලා. ජනාධිපතිතුමාට දැන් යුතුකමක් තියෙනවා මේ අපරාධය නවත්වලා අලුතින් ආණ්ඩුව පත් කරන්න. අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ දේ සිදු කරන ලෙස." 

  • ඉරාන් වික්‍රමත්න මහතා කතා කරයි.

"ආණ්ඩුවක් මුවාවෙන් පවත්වාගෙන යන මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට අද ඡන්දයත් විශ්වාස භංගයක් වුණා. අද තිබුණ ඡන්දයත් විශ්වාස භංගයක් විදියට සලකන්න පුලුවන්.  ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කතානායකවරයා ගත් තීරණය අගය කළ යුතුයි. ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව අගමැති පත් කළ හැකි වුවත් අගමැති අයින් කරන්න ජනපතිට බෑ. අගමැති අයින් කරන්න පුලුවන් පාර්ලිමේන්තුවට. ඒ අනුව අගමැති විතරක් නෙමෙයි  ආණ්ඩුවත් විසිරිලයි තියෙන්නේ. රජයේ සේවකයන්ට මම කියන්නේ ආඥාවන් පිළිපදිනවා නම් ඒ නියෝග නීත්‍යනුකූලදැයි බලන්න.  ලෝක ඉතිහාසය දිහා බලන්න. අද හෙට නෙමෙයි කවදා හරි ප්‍රතිඵල ලැබෙනවා. ජනපතිකම් බලෙන් අල්ලං හිටපු අය දශක ගණනකට පස්සේ හිරේ ගොස් තිබෙනවා. ඒ අන පිළිපැද්ද අයටත් ඒකම වුණා. මෙහෙත් අද හෙට නොවුණත් කවදා හරි ඒ දේම වෙන්න පුලුවන්. මේක පාර්ලිමේන්තුව. මේකේ වරප්‍රසාද අපිට තිබෙනවා. නමුත් අනිත් අයට හිරිහැර කරන්න අවස්ථාව අපට නෑ. පොලිසිය මෙතනට ආවේ කතානායගේ නියෝගයට. පොලිස් නිලධාරීන්ට පහර දුන්නා. කම්මුල්පහර දුන්නා. පාර්ලිමේන්තුව ඇතුළේ හිටියත් නීතිය ක්‍රියාත්මක වෙනවා."

  • පාලිත රංගේ බණ්ඩාර මහතාට කෝටි 50ක් දීමට ලබා දුන් දුරකතන ඇමතුම් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරද්දී මූලාසනයේ සිටින නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ඊට අවස්ථාව ලබා නුදුන්නේය.
  • පාලිත රංගේ බණ්ඩාර මහතා කතා කරයි

"විජිත හේරත් මන්ත්‍රීවරයාගේ යෝජනාව ගැන කතා කරන්න ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. පසුගිය ඔක්තෝබර් මාසයේ ජපානයේ නිල කටයුත්තකට ගිහින් ඉන්දි ආරංචි වුණා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන බව.  27 වැනිදා මම නිල කටයුත්තට යන්න සූදානම් වෙද්දි මට දුරකතන ඇමතුමක් ආවා මේ රටේ ප්‍රධාන පුරවැසියාගෙන්. ඔහු මට කිව්වේ අලුතින් බිහිකරන ආණ්ඩුවට ඇවිත් කැබිනට් ඇමැති ධුරයක් බාර ගන්න කියලා. ඉන් පසු ලංකාවට ආවට පස්සේ ආයෙත් දුරකතන ඇමතුමක් ආවා. ප්‍රධාන පුරවැසියා මට කිව්වේ හම්බෙමු, මේ අාණ්ඩුවට සම්බන්ධ එන්න කියලා. මම මගේ අකමැත්ත සෘජුවම ප්‍රකාශ කළා. මේ ව්‍යසනකාරී තත්ත්වය ඇති කරලා රටේ ප්‍රධාන පුරවැසියා මාධ්‍ය හමුවය ඇවිත් පාර්ලිමේන්තුව විසිරුවන්න හේතු කිව්වා. මන්ත්‍රීවරුන් මිල ගණන්වලට විකිණීම නිසා පාර්ලිමේන්තුව විසිරුවන්න වුණා කිව්වා. මෙවැනි තත්ත්වයක් ඇති කළේ මේ රටේ ජනාධිපතිතුමා."

"ඔහුගේ තීරණය නිසා මන්ත්‍රීවරුන්ට කතා කළා. එස්බී නාවින්න මහතා අනිත් පැත්තට යනවා කියලා ආරංචි වෙලා අපි එස්බී නාවින්න හමුවෙන්න ගියා.  මේ කපුකම කළ පුද්ගලයා මට දිගින් දිගටම කතා කළා රුපියල් කෝටි 50ක මුදලක් ඇමෙරිකන් ඩොලර් වලින් මට ගෙදරට ඇවිත් දෙන්න කතා කළා. නාවින්න ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සහ යෝජෂිත රාජපක්ෂගේ ලේකම්වරයකු කියන පුද්ගලයා මට කතා කළා. ඔවුන් මට කතා කළ හඬපට මම ඉදිරිපත් කළා. එස්බී දිසානායකගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන නවීන් කියන පුද්ගලයා මට කතා කළා. කෝටි 50ක මුදලකුත් අරගෙන මහාචාර්යවරයෙකුත් එක්ක මගේ නිවසට එන බව තව කෙනෙක් කිව්වා. මේ රටේ උගත් කියලා සම්මත අය තමයි මහාචාර්යවරු. ඒ මහාචාර්යවරයෙක් තමයි මන්ත්‍රීවරයන් මිලදී ගැනීමේ කටයුතු කළේ.  මන්ත්‍රීවරයන් අලෙවි කරන තත්ත්වය පත් කළේ ජනාධිපතිවරයා ගත් අමනෝඥ ක්‍රියාකාරිත්වය නිසා. මේ තොරතුරු මා සතුව තිබෙනවා. අවශ්‍ය නම් මේ සභාවේ ක්‍රියාත්මක කර පෙන්වන්න පුලුවන්."

  • නියෝජ්‍ය කතානායකවරයා ඉවත් වී නියෝජ්‍ය කාරක සභා සභාපති මූලාසනයට පැමිණෙයි.
  • සුජීව සේනසිංහ මහතා කතා කරයි  

"තරුණ මන්ත්‍රීවරයෙකු වශයෙන් මේ ඇති වෙලා තියන තත්ත්වය සම්බන්ධයෙන් මට කණගාටුයි. අද පැහැදිලි වුණා බහුතරය තිබෙන්නේ කාටද කියලා. 120ට වැඩි පිරිසක් මහින්ද රාජපක්ෂට එරෙහිව තිබෙන බව අපි මුල ඉදන්ම කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණු දා සිට ඇතිවූ කළුම පැල්ලම ඇති වුණේ එදා පාර්ලිමේන්තුවේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මුල්ලකට දාලා ප්‍රචණ්ඩත්වය පාර්ලිමේන්තුවේ ඇති කරන්න මහින්ද ප්‍රමුඛ කණ්ඩායමට හැකි වුණා."

  • ආර්.සම්පන්දන් මහතා කතා කරයි.

"ජවිපේ නායකතුමා හොඳ කතාවක් කළා. දැනට රටේ ඇති තත්ත්වයට පසුබිම් වූ කරුණු එහි සඳහන් වුණා. අගමැතිවරයා කියන කෙනා මේ සභාවේ විශ්වාසය දිනාගෙන තිබෙනවද කියන එක සරල දෙයක්. ඔහුට විශ්වාසය නැතිනම් ඔහු මේ රටේ අගමැති නෙමෙයි. සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල සම්ප්‍රදාය එයයි. ඔක්තෝබර් 26 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අගමැති කර තිබුණත් ඔහු මේ සභාවේ විශ්වාසය දිනාගෙන නෑ.  අපිට මෙහිදී අල්ලස් දීම, තර්ජනය කිරීම මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා ගන්න සෘජු ක්‍රමයක් ලෙස සළකන්න බෑ.
ඔක්තෝබර් 26න් පස්සේ රටේ සිදු වෙන දේ අපි දන්නවා. නොවැම්බර් 16 වැනි දා මේ රට අවමානයට පත්වුණා. පාර්ලිමේන්තුව අවමානයට පත්වුණා සමහර මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා. කතානායකට එතුමාගේ ආසනයේ අසුන් ගන්න අවස්ථාව ලැබුණේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීට පහර දුන්නා. මේ මන්ත්‍රීවරුන්මයි එසේ කළේ. මේ සියල්ල කළේ මේ සභාව බලය නිහඬ කිරීමටයි. "

  • සභාව දිවා ආහාරය නැතිව සවස 6 දක්වා කර ගෙන යෑමට අනුමැතිය ලැබේ.
  • මංගල සමරවීර මහතා කතා කරයි

"සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණය හේතුකොට ගෙන අද රට අරාජික වෙලා. එක පුද්ගලයකුගේ හීනමානය නිසා මිලියන 22ක ජනතාවගේ අනාගතය අවිනිශ්චිතතාවකට පත් වෙලා තිබෙනවා. අපේ මුළු ආර්ථිකයම පසුගිය සති තුනේ භයානක අර්බුදයකට තල්ලු වෙලා. අද ඩොලරය එකසිය අසූ ගණනකට වැඩි වෙලා. අපි ඩොලයර 173 ස්ථාවර කරගෙන ඉන්දි බන්දුල ගුණවර්ධනලා කිව්වා අපිට දුන්නා නම් අඩු කරනවා කියලා. දැන් කියනවා 200ට ගියත් කරන්න දෙයක් නෑ කියලා. මේ වන විට මේ රටේ නීත්‍යනුකූල රජයක් නෑ. නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ.  ව්‍යවස්ථාවේ 148 වලන්තියේ තියෙනවා මූල්‍ය පරිපාලනය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා.  මම මුදල් ඇමැතිවරයා විදියට දෙසැම්බර් 31 වෙනකම් මුදල් වෙන්කර වරෙන්තුව අත්සන් කර තිබුණත් 31න් පස්සේ මුදල් වෙන් කරන්න පුලුවන් වෙන්නේ නීත්‍යනුකූල අයවැයක් හෝ අතුරු සම්මත ගිණූමක් තිබ්බොත් විතරයි. හොර කැබිනට් එකෙන් අතුරු සම්මත ගිණුමක් පාස් කර ගත්තත් පාර්ලිමේන්තුවේ එය පාස් කර ගන්න බෑ."

  • මරික්කාර් මන්ත්‍රීවරයා - රජයේ නාලිකාවල සජීව පෙන්වනවා ඒකාබද්ධයේ මාධ්‍ය හමුව. ඒ නිලධාරීන් වරප්‍රසාද හමුවට කැදවන්න.
  • නියේාජ්‍ය කතාකායක - ඒ ගැන එකාතායකගේ අවධානයට යොමු කරන්නම්
  • කතානායකවරයා පිටවී නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණෙයි.
  • පාර්ලිමේන්තුව නැවතත් නොවැම්බර් මස 27 දා ප.ව. 1.00 දක්වාත්, 29 දා පෙරවරු 10.30 දක්වාත් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා යෝජනා කළේය.

"මෙම අස්ථාවර බව ඕපපාතිකව නිර්මාණය වුණේ නෑ. මෙම අස්ථාවර බව දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. ඔක්තෝබර් 26 වැනි දා පැහැදිලිවම දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා.   එක මැතිවරණයක සිට තවත් මහ මැතිවරණයක් වෙනකම් කාලයේ දී අලුත් ආණ්ඩුවක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට අවස්ථාව තිබෙනවා බහුතර කැමැත්ත අනුව ආණ්ඩුවක් තෝරාගන්න. මෙම අස්ථාවර බව ඕපපාතිකව නිර්මාණය වුණේ නෑ. මෙම අස්ථාවර බව දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. ඔක්තෝබර් 26 වැනි දා පැහැදිලිවම දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. මේසෙක දෙපැත්තක හිටගෙන මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා උඹ අගමැති මම ජනපති කියලා. මෙය දේශපාලන කුමන්ත්‍රණයක් ලෝකයේ මෙවැනි රටක මෙවැනි ආණ්ඩු පෙරලීම් වුණා නම් එය ලේ වැගිරීම් වලිනුයි නවතින්නේ. අපේ රටේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව විජිත හේරත් මහතා ඉදිරිපත් කරයි.

  • එය ස්ථිර කරමින් අනුර කුමාර දිසානායක මහතා කතා කරයි.
  • පාර්ලිමේන්තුවෙන් ආණ්ඩුවක් නැතැයි තීරණයක් දී තිබිය දී ජනමාධ්‍ය ආණ්ඩු පක්ෂය යැයි භාවිතා කිරීම වැරදි බව මන්ත්‍රීවරයෙක් පැවසීය.
  • තවත් වරක් නමින් ඡන්දයක් පවත්වන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කළේය.
  • පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත් කිරීම ගැන අවසන් එකඟතාවකට නොපැමිණීම නිසා පැවැති ඡන්දයට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු බව කතානායකවරයා තීරණය කළේය.
  • ඡන්ද ගණන් කිරීමේ කටයුතු සහ නැවත පරීක්ෂා කිරීමේ කටයුතු සිදු වෙයි.
  • ඡන්ද ගණන් කිරීමේ කටයුතු සහ නැවත පරීක්ෂා කිරීමේ කටයුතු සිදු වෙයි.
  • තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයන් පත් කිරීමේ යෝජනාව ගැන ඡන්ද විමසීම අවසන්
  • ඉලෙක්ට්‍රෝනික් ක්‍රමය වැඩ කරන්නේ නැති මන්ත්‍රීවරුන් ළඟට නිලධාරීහු ගොස් සහාය දෙති. ඉලෙට්‍රෝනික ක්‍රමයට බැරි වූ මන්ත්‍රී හු වාචිකව ඡන්දය දෙති.
  • ඉලෙට්‍රෝනික් ක්‍රමයට ඡන්දය ලබා ගැනීම ඇරැඹේ.
  • පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම ආරම්භ කළේය. ඒ කථානායකවරයා තේරීම් කාරක සභාවට නම් ක නියෝජිතයන් සඳහා විරෝධයක් එල්ල වූ බැවිනි.  
  • පාර්ලිමේන්තුව නිසියාකාරව කටයුතු නොකරන බව සඳහන් කරමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගැබෙන් ඉවත්ව යයි.
  • විමල් වීරවංශ මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.
  • කථානායකවරයා ස්ථාවර නියෝග අනුව කටයුතු කර ඇති බවත් 14 වැනිදා විශ්වාසභංගයක් සම්මත වූ බව ප්‍රකාශ කර ඇති බවත් තේරීම් කාරක සභාව පිළිබඳව යම් ප්‍රශ්ණයක් ඇත්නම් තේරීම් කාරක සභාවට නමින් ඡන්දයක් අවශ්‍ය බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
  • එසේම කථානායකතුමාගේ ක්‍රියා කලාපය ගැටලුවක් ඇත්නම් නමින් නමට ඡන්දයක් ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
  • විශ්වාසභංග යෝජනාවක් සම්මත කළයි ප්‍රකාශ කිරිම ප්‍රතික්ෂේප කරනවා ආණ්ඩුව පිළිගත යුතුයි. ආණ්ඩුව වැඩ කරගෙන යනවා යැයි  බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
  • සභාවේ ඝෝෂා
  • ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - කතානායකතුමනි නමින් ඡන්දයක් ගන්න
  • අජිත් පී පෙර්රා  මහතා - පාර්ලිමේන්තුව පාලනය විය යුත්තේ ස්ථාව නියෝග අනුවයි. නම් ලැයිස්තුවේ ආණ්ඩුව විපක්ෂය කියලා නෑ. මෙය ස්ථාවර නියෝගවලට එකඟයි.
  • සභාවේ ඝෝෂා
  • විමල් වීරවංශ මහතා - පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යේාජනාවක් සම්මත වෙලා නෑ. විශ්වාස භංගයක් හඬින් සම්මත කරන්න බෑ. 
  • විමල් වීරවංශ  මහතා කතානායකට මූලාසනාරූඩ මන්ත්‍රී ලෙස ආමන්ත්‍රණය කරයි.
  • අපි මේ පාර්ලිමේන්තුව අත හැර යන බව විමල් වීරවංශ කියයි. 
  • අනුර කුමාර දිසානායක මහතා - හඳපානේ ජනාධිපති ඇවිත් අගමැති ගෙනත් ආණ්ඩු හදන ඒවා තමයි කැලෑ නීති. මේ තේරීම් කාරක සභාව ගැන ප්‍රශ්නයක් තිබේ නම් පාර්ලිමේන්තුවේ තමයි තීරණය ගත යුත්තේ.  ඒ සඳහා නමින් ඡන්දයක් ඕනෑ.
  • කතානායකවරයා ව්‍යවස්ථා විරෝධීව හැසිරෙන බව කියනවා නම් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙන එල චෝදනා කරන පිරිසට කියනවා.
  • බන්දුල ගුණවර්ධන මහතා - අපේ රජය පාර්ලිමේන්තුවේ පිළිගන්න.  
  • තේරීම් කාරක සභාවට තමාගේ පක්ෂයටත් අවස්ථාවක් අවශ්‍ය බව ඩග්ලස් දේවානන්ද කියයි.
  • ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -  පාර්ලිමේන්තුවේ අගමැතිවරයකු නැතැයි ඔබ ප්‍රකාශයක් කර තිබෙනවා. ආණ්ඩුව කියන අයට මම කියනවා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න කියලා. ඔවුන් තවම බහුතරය පෙන්වලා නෑ. බහුතරය පෙන්නුවොත් අපි බලතල දෙනවා.
  • බහුතරය පෙන්නුවොත් සේරම දෙනවා යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
  • මේ සදහා විරෝධය පළකරමින් සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා 12 දෙනෙකුගෙන් යුත් තේරීම් කාරක සභාවේ 7 දෙනෙක් ඉල්ලා සිටියි. සභාවේ දැඩි ඝෝෂා ඇතිව තිබේ.
  • මන්ත්‍රි සංඛ්‍යාව ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත් තේරීම් කාරක සභාවට නම් කළ නම් වලට විරෝධය පළ කරන බවත් කථානායකවරයා පවත්වන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්ත රැස්වීමක් බවත් ප්‍රකාශ කළේය.
  • සන්ධානය  - දිනේෂ්, එස්බී, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවවංශ යන මහත්වරුන් 
  • එජාපේ - රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් 
  • ඉලංකෙයි තමිල් අරුසකච්චි - මාවෙයි සේනාධිරාජා මහතා
  • ජවිපෙ - විජිත හේරත් මහතා
  • තේරීම් කාරක සභාවේ නම් කතානායක ඉදිරිපත් කරයි.
  • සෙංකෝලය රැගෙන ඒමෙන් පසු පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ඇරැඹේ.
  • කතානායක  කරු ජයසුරිය මහතාගේ ප්‍රදානත්වයෙන් අද  පාර්ලිමේන්තුව අරැඹිණි.
  • අද පාර්ලිමේන්තුවේ  සම්පුර්ණ වීඩියෝව පහතින්,
Last modified on Friday, 23 November 2018 18:18