April 26, 2024

ලලිත්ගේ - අනුෂගේ දඩ ගෙවන්න ඒකාබද්ධයෙන් අරමුදලක්! සිල් රෙදි ආපසු දෙන්න මවුවරුන් සූදානම්

September 11, 2017

සිල් රෙදි නඩුවෙන් වැරදිකරුවන් වී සිර ගත කරනු ලැබූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට මහත්වරුන් වෙනුවෙන් අධිකරණයෙන් නියම කළ වන්දිය ගෙවීමට මැදිහත්වීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ද, ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකුගෙන් රුපියල් පනස් දහසක් ද, පළාත් පාලන ආයතන සභිකයකුගෙන් රුපියල් 25000ක මුදලක් ද එකතු කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග කියයි.

පරිත්‍යාගශිලීන්ගෙන් ද ඒ සඳහා මුදල් ලබා ගැනීමට අපේක්ෂ කරන බව ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයෙක් පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ සිල් රෙදි සිරකරුවන් නිදහස් කරගැනීමේ අරමුදල නමින් නව අරමුදලක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි.

දූෂණ වංචා, කොමිස් ගැහිලි නොකළ රජයේ කිසිම නිලධාරියකුට රුපියල් මිලියන 2ක හා රුපියල් මිලියන 50ක් තරම් මුදලක් ගෙවීමට බැරි බවත් ඒ දෙදෙනා කෙළේ රජයේ නියමයක් ඉටුකිරීම පමණක් බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

එම මුදල එකතු කිරීමේ ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි බන්ධුල ගුණවර්ධන මහතා රටේ සියලුම වෙහෙර විහාරස්ථානවල නායක හිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් බෞද්ධ ජනතාවගේ සහභාගිත්වය ඇතිව මේ මුදල එකතු කර දඩ හා වන්දි මුදල ගෙවීමට සූදානම් වෙයි.

මේ දෙදෙනාට අධිකරණයෙන් නියම කර ඇති දඩය හා වන්දිය රුපියල් මිලියන 104කි.

සිල් රෙදි ආපසු දෙන්න මවුවරුන් සූදානම්

සිල් රෙදි නඩු තීන්දුවේ දඩ මුදල ගෙවීම සඳහා රජයෙන් ලැබුණු සිල්රෙදි යළි ලබාදීමට මවුවරුන් සූදානම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී දළදා මාලිගාවේදී හමුවූ මවක තමන් ද සිල් රෙද්දක් ලබාගත් බවත් නඩු මුදල ගෙවීම සඳහා එම රෙදි යළි ලබාදීමට සූදානම් බව ඇය ප්‍රකාශ කළ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

සිල් රෙදි බෙදීම සිදුවුණේ මැතිවරණ සමයක නොවන බවත් එය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව සිදුකරන ලද්දක් බවත් රජයේ තීන්දු අනුව සිල් රෙදි බෙදීමත් වරදක් නම්, රාජ්‍ය සේවකයන්ට ගැටලු රැසක් මතුවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Last modified on Monday, 11 September 2017 10:55