March 19, 2024
Main

Main (651)

පාර්ලිමේන්තුවේ ස්වාධීනව විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් ඊයේ (05) භාර දී තිබෙනවා.

ඒ, ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ සිය මතය දක්වමින්.

එම ලිපිය මගින් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ වත්මන් ආණ්ඩුව පිළිබඳ සාතිශය බහුතර ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති බැවින් එය ඉල්ලා අස්විය යුතු බවද එසේ නොවන්නේ නම් ඉවත් කළ යුතු බවද සිය විශ්වාසය බවයි.

නමුත් විශ්වාසභංග යෝජනාවක් හරහා ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසු රට පාලනය කරන ක්‍රමවේදය පිළිබඳ සමගි ජන බලවේගයට අදහසක් තිබිය යුතු බව ඔවුන් විසින් ප්‍රශ්නර කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තමන්ට එල්ල කළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇමරිකා එක්සත් ජනපද සී.අයි.ඒ නියෝජිතයෙකු වන ඉමාද් සුබේරි නමැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් නිසි අනුමැතියකින් තොරව  2014 වර්ෂයේ දී ගෙවා ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ චෝදනා කළා.

රජයේ ලිඛිත නිල උපදෙස් සහ බලධාරීන්ගේ අනුමැතිය මත එම ගෙවීම් සිදුකර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් එම තැනැත්තාට සහ අදාල සමාගම්වලට ගෙවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු පටිපාටිමය හෝ වෙනත් නීති රීති උල්ලංඝනයක් කර නැති බවත් කබ්රාල් මහතා කියා සිටියා.

මේ ගෙවීම් තනි පුද්ගලයකුගේ අභිමතය අනුව කළ දෙයක් නොවන බවත් ඇමරිකා එක්සත් ජනපදයේ කරන ලද විවිධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් කරන ලද ගෙවීම්ද මෙයට ඇතුළත් වන බවත් හෙතෙම සඳහන් කළා.

දේශපාලන අරමුණු සහිත ඇතැම් කණ්ඩායම් තමාගේ කීර්තිනාමය හානි කිරීමේ අරමුණෙන් මෙම අසත්‍ය ප්‍රචාර ගෙන යන බව ඔහු අවධාරණය කළා.

මේ නින්දිත ක්‍රියාවන්හි යෙදෙන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසූවේ.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින්,

නිසි අනුමැතියකින් තොරව, “එක්සත් ජනපද CIA නියෝජිතයෙකු” වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් 2014 වසරේ දී ගෙවා ඇති බවට ජවිප නායක දිසානායක විසින් කරන ලද අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන්2022 මැයි 3 වන දින අජිත් නිවාඩ් කබ්රාල් විසින් සිදු කරනු ලබන ප්‍රකාශය.

රජයේ බැංකුකරු ලෙස 2014 වසරේදී මහ බැංකුව විසින් කර ඇති ගෙවීම් රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත සිදු කර ඇති අතර, ඒවා තනි පුද්ගලයෙකුගේ අභිමතය අනුව සිදුකර නොමැත. එවන් ගෙවීම් අතර සුබේරි සහ ඔහු විසින් නියෝජනය කරන ලද සමාගම් විසින් ඇමරිකානු එක්සත් ජනපදයේ සිදු කරන ලද විවධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් කරන ලද ගෙවීම්ද අඩංගුය.

ඒ සම්බන්ධයෙන් රජය විසින් ලබා දී ඇති ලිඛිත සහ නිල උපදෙස් සහ අදාළ රජයේ බලධාරීන්ගේ අනුමැතිය මත, එම ගෙවීම් සිදු කර ඇති අතර, මහ බැංකුවේ ගෙවීම් සහ ක්‍රියා පටිපාටි අනුගමනය කොට ඇත. එබැවින්, රජය වෙනුවෙන් ඇ.ඩො. මිලියන 6.5ක ගෙවීම් සුබේරි සහ අදාළ සමාගම් වෙත සිදුකිරීමේදී, කිසිදු පරිපාටිමය හෝ වෙනත් නීති හෝ රීති උල්ලංඝනයක් මහ බැංකුව විසින් සිදුවී නොමැති බව තහවුරු කළ හැක.

එසේ වුවද, මා විසින් පුද්ගලිකව මෙම ගෙවීම් වංචනික ලෙස සිදු කර ඇති බවටද එමගින් රටට පාඩුවක් සිදු කර ඇති බවටද චෝදනා කරන දේශපාලන අරමුණු සහිත ඇතැම් කණ්ඩායම් සිටින බව දැනට නිරීක්ෂණය වී ඇත.

මෙම කණ්ඩායම් 2015 සිට 2019 දක්වා වසර 5ක් පුරාවටම පාහේ මෙම ගණුදෙණු සියල්ල ගැඹුරින් විමර්ශනය කලද, එසේ කිරීමෙන් පසුව මවිසින් කිසිදු අතපසුවීමක් හෝ නීති උල්ලංඝනයක් කර ඇති බවට පෙන්වා දීමට නොහැකි වුනි. ඒබැවින්, එම වසර 5 ක කාලය තුළ කිසිදු නීතිමය අධිකාරියකින් මට එරෙහිව කිසිදු ආකාරයේ නීතිමය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට අපොහොසත් වූ බවද ඉතා පැහැදිලිය.

එසේ වුවද, මෙම දේශපාලනික කණ්ඩායම් යළිත් මට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින්, මාගේ කීර්ති නාමයට හානි කිරීමට සහ මා මහජන වෛරයට සහ අප්‍රසාදයට පත් කිරීමට දැඩි උත්සාහයක් ආරම්භ කොට ඇත. එම චෝදනා මා තරයේ ප්‍රතික්‍ෂේප කරන අතර, ඔවුන්ගේ ඒම නින්දිත ක්‍රියාවන්ට එරෙහිව සුදුසු අවස්ථාවක නීතිමය ප්‍රතිචාර දක්වන බවත්, මෙම නින්දිත ක්‍රියාවන්හි යෙදෙන්නන් ඒ්වාට වගවීමකට ලක් කරන බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ප්‍රකාශ කරමි.

රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙළිකරන විශේෂ මාධ්‍ය හමුව මේවන විට ආරම්භ වී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් එම හෙළිදරව්ව සිදුකරමින් තිබෙනවා.

එහිදී මාධ්‍ය අමතමින් සඳහන් කළේ මෙම හෙළිදරව්වේදී අවශ්‍ය කරුණු පමණක් හෙළි කිරීමට තමන් වගබලා ගන්නා බවයි.

තමා එම ලිපිගොනු වලින් තෝරාගත් කිහිපයක් ඉදිරිපත් කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

එහි සජීව විකාශය පහතින්,

ආණ්ඩුවේ තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2) පෙරවරුවේ ජනපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡාව පැවැත්වෙන්නේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන්.

ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් හා ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම සහභාගී වනු ඇති. 

අන්තර්වාර පාලනය 

ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම විසින් අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් යෝජනාවලියක් දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාවලියද මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

යෝජනාවලිය එම කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට දැනටමත් බාර දී තිබෙන බව වාර්තා වනවා.

පොහොට්ටුව එකඟයි

අන්තර්වාර පාලනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කර තිබෙනවා.

අන්තර්වාර පාලනය සියලු පක්ෂවලින් සැදුම්ලත් එකක් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

අන්තර්වාර පාලනය ආණ්ඩුවෙන් ඉවත් කෙරුණු මන්ත්‍රීවරුන්ගෙන් පමණක් සකස් වන්නේ නම් ඉන් ප්‍රතිඵලයක් නොලැබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් ජනපති මන්දිරයේදී පසුගිය 29 වැනිදා පැවැත්වුණා.

කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත පිරිස් ඒ අසල පිහිටි හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවෙහි දෙනෙත් කළු පටියකින් ආවරණය කර තිබෙනවා.

ඒ ඉදිරිපිට "ඇහැරෙන්න" යනුවෙන් සඳහන් පුවරුවක් ද ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබුණා.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුල කතාබහක් මතුවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වන හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා පිළිබඳ එම පක්ෂය සිය මතය ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක ප්‍රතිමාවට නිගා වන ලෙස කටයුතු කරනු ලැබුවේ ගෝඨාගෝගම විනාශ කිරීමට තැත් කරන අන්තවාදී සහ බෙදුම්වාදී කණ්ඩායම් බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වාගෙන යනු ලබන අරගල භූමිය තුළ විවිධ අන්තගාමී සහ බෙදුම්වාදී බලවේග ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු අවධාරණය කරනවා.

එහි එක් ප්‍රතිඵලයක් ලෙස පසුගියදා බණ්ඩාරනායක ප්‍රතිමාව සම්බන්ධයෙන් වූ සිදුවීම හඳුන්වාදිය හැකි බවයි හෙතෙම ප්‍රකාශ කළේ. 

ඒ අනුව බණ්ඩාරනායක ප්‍රතිමාව සම්බන්ධයෙන් සිදුවූ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කනගාටුව ප්‍රකාශ කරන බවත් වහාම එම ප්‍රතිමාවට ආරක්ෂාව ලබාදීමට කටයුතු කළයුතු බවත් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියා.

ඒ අනුව මේ වනවිට ලැබී ඇති ජයග්‍රාහි අවස්ථාව ආරක්ෂා කර ගන්නා ලෙස තමා තරුණයින්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා. 

“පසුගිය අප්‍රේල් මස 22 දා ටැමිල් ගාඩියන් වෙඩ් අඩවිය ලිපියක් පළ කරනවා. ගෝඨාගෝගම බණ්ඩාරනායක ප්‍රතිමාව බිඳ දැමිය යුත්තේ ඇයි කියලා. ඒ ලිපියෙන් ඔවුන් බණ්ඩාරනායක මහතාගේ දර්ශනයට අභියෝග කරනවා. මේ කථිකාව හරහා තමයි දෑස් බැඳ දැමීමේ සිද්ධිය නැවත නිරීක්ෂණය කරන්න වෙන්නේ. මීට එරෙහි වූ භික්ෂූණ් වහන්සේ නමකට පහරදීලා රෝහල්ගත කරා කියලා අපි මාධ්‍යවල දැක්කා. මේ තත්ත්වය අතිශය කනගාටුදායකයි.” යැයි ලක්ෂ්මන් පියදාස මහතා පෙන්වා දෙනවා.

රාජපක්ෂවරු ඉවත්වන තෙක් ඉදිරියේදී උද්ඝෝෂණ තත්ත්වයෙන් ඔබ්බට ගොස් වර්ජන තත්ත්වය කරා ද ගමන් කරන බවත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ද ලබාදෙන බවත් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් සඳහන් කළා.

අන්තර්කාලීන රජයක් පිහිටුවීම සඳහා ආණ්ඩුවේම ස්වාධීන වූ මන්ත්‍රීවරු පිරිසක් අද (29) ජනපතිවරයා සමඟ සාකච්ඡාවකට සූදානමින් සිටිනවා.

අන්තර් පාලනය විවිධ මත පළ වන අතර ඒ අතර මැතිවරණ කොමිසන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාද සිටිනවා.

ව්‍යවස්ථාදායක රාමුව

ඔහුගේ මතයට අනුව රටේ ඇතිව තිබෙන ප්‍රශ්නය විසඳා ගත යුත්තේ ව්‍යවස්ථාදායක රාමුව තුළයි.

ඇතමුන් ව්‍යවස්ථාවෙන් පිට විසඳුම් යෝජනා කරන බවද පෙන්වා දෙන දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ තමාගේ විශ්වාසය පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 මූලික වී වත්මන් ආර්ථික ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු බවයි.

ඒ සඳහා එක් විසඳුමක් ලෙස යෝජනා කොට තිබෙන අන්තර් පාලන රජය යන සංකල්පය දැන් සම්පූර්ණයෙන්ම අසමත් එකක් බවයි ඔහුගේ මතය වන්නේ.

ඒ ඊට හේතුන්ද පෙන්වා දෙමින්.

අසාර්ථක වීමට හේතු

එම යෝජනාව මුලින් පැමිණි අවස්ථාවේ කට්ටිය පස්ස ගැසීම ඉන් එකක් බවත් අනික මේ වන විට නව කැබිනට් මණ්ඩලයක් පත්කර තිබීම බවත් දේශප්‍රිය මහතා පෙන්වා දෙනවා.

ඒ හැරුණුකොට අන්තර් කාලීන පාලනය සම්බන්ධයෙන් මුලින් යෝජනා වී තිබූ කරුණක්ද දේශප්‍රිය මහතා හෙළිදරව් කරනවා.

ඔහු සඳහන් කරන්නේ ප්‍රථමයෙන් යෝජනා වී තිබුණේ ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකු ඉල්ලා අස් වී ඒ වෙනුවට ජනතාවට පිළිගත හැකි වෘත්තිකයන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කිරීමට බවයි.

විශේෂයෙන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා දැනුවත් අය එසේ පත් කිරීමට යෝජනා වී තිබූ බව පෙන්වා දෙන දේශප්‍රිය මහතා එවන් දෙයක් දැන් සිදු වන පාටක් පෙනෙන්නට නැති බවද සඳහන් කරනවා.

දේශප්‍රිය මහතා මේ අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සාකච්ඡාවකට එක්වෙමින්.

තව දින 3 කින් ලෝක කම්කරු දිනය සැමරීමට නියමිතයි.

මැයි 1දාට යෙදෙන ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මැයි රැළි නොපැවැත්වීමට ප්‍රධාන පක්ෂ දෙකක් තීරණය කොට තිබෙනවා.

පක්ෂ දෙක

ඒ පාලක පොදුජන පෙරමුණ සහ හිටපු ආණ්ඩුව කළ එක්සත් ජාතික පක්ෂයයි.

විශේෂයෙන්ම පොදුජන පෙරමුණ මෙවර දැවැන්ත මැයි රැලියක් පැවැත්වීමට සූදානමින් සිටියේ.

ඉකුත් මාර්තු මස විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඔවුන් නියෝජනය කරන පක්ෂ 11 සන්ධානය දැවැන්ත මැයි රැලියක් පැවැත්වීමට ඒ අවස්ථාවේ තීරණය කළා.

ඊට ප්‍රතිචාර දැක්වීමට පොදුජන පෙරමුණද ගාලු මුවදොර පිටියේ දැවැන්ත මැයි රැලියක් පැවැත්වීමට පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබුණා.

දේශපාලන කුණාටුව

එහෙත් ඉන් පසුව විශේෂයෙන්ම මේ මස තුළ ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම ඇති වූ අර්බුදකාරී තත්ත්වය මත ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් කණ්ඩායම් තුනක් මේ වන විටත් ස්වාධීනවයි සිටින්නේ.

ඒ හැරුණුකොට පොදුජන පෙරමුණ මැයි දිනය පැවැත්වීමට තීරණය කොට තිබූ ගාලු මුවදොර මේ වන විට තරුණ අරගලකරුවන් විසින් සිය ග්‍රහණයටද ගෙන තිබෙනවා.

ඒ අනුව මෙවර මැයි රැළි පවත්වන ප්‍රධාන පක්ෂ වන්නේ සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පමණයි.

ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ ජාතික ජන බලවේගය මෙවර දිවයිනේ සිව් කොනම ආවරණය වන පරිදි මැයි රැලි 4 ක් පැවැත්වීමට තීරණය කොට තිබෙනවා.

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජපක්ෂ පවුලේ වැඩිමලා.

රාජපක්ෂ පවුලට එල්ල වන චෝදනා අතරින් අවම චෝදනා එල්ල වන්නේත් ඔහුට.

සොහොයුරාට පණිවිඩයක්

ඔහු සිය බාල සොහොයුරකු වන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට පණිවිඩයක් යවා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ ජනපති කාර්යාලයේ ඉහළම නිලධාරියෙකු අත.

එම නිලධාරියා කවුරුන්දැයි යන්න එළිදරව් නොවුනත් ජනපති කාර්යාලයේ සේවය කරන ඉහළම නිලධාරීන් අතුරින් අග්‍රාමාත්‍යවරයාට වඩාත් සමීප නිලධාරියෙක් සිටිනවා.

ඒ වත්මන් ජනපති ලේකම් ගාමිණී සෙනරත් මහතායි.

ලබා දුන් පණිවිඩය

එම නිසා චමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දෙන ලෙස ලබා දුන් අදාළ පණිවිඩය ලබා දුන්නේ ගාමිණී සෙනරත් මහතාට බව අනුමාන කිරීමට පුළුවන්.

එම පණිවිඩයෙන් කියවුණේ මෙවැන්නක්.

තමාගේ සහෝදරවරුන්ට ගැහුවට ප්‍රශ්නයක් නැති මුත් මහින්ද මල්ලිට ගහන විදිය තමන්ට දරාගැනීමට බැරි බවයි.

ඒ නිසා මහින්ද මල්ලිට අගමැති ධූරයෙන් ඉවත්වන ලෙස දැනුම් දෙන ලෙසටයි එම පණිවිඩයේ සඳහන් වී තිබුණේ.

ආණ්ඩුවෙන්ම කෙරෙන බලපෑම

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වන ලෙස දැඩි බලපෑම් එල්ල වී තිබෙන්නේ ආණ්ඩුවේම ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් වෙතින්.

ඒ වත්මන් අර්බුදයට යම් පිළියමක් සෙවීම සඳහා රාජපක්ෂවරුන් නොවන නව අග්‍රාමාත්‍යවරයා යටතේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහායි.

අද (24) කොළඹට දැවැන්ත ජන ගඟක් බවට තොරතුරු බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

එසේ අනාවරණය කරගෙන තිබෙන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල පෙළපාලියක් සමග එම ජන ගඟ කොළඹට පැමිණෙන බවයි.

ගාලූ මුවදොරට

කොළඹ කොටුව දුම්රිය ස්ථානය හෝ වෙනත් ස්ථානයක සිට එසේ පැමිණෙන පෙළපාලිය ගාලු මුවදොර උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයට පැමිණ අද (24) රැය පහන් කිරීමට නියමිත බවටත් තොරතුරු බුද්ධි අංශ හෙළිදරව් කොට ගෙන තිබෙනවා.

බුද්ධි අංශ වැඩි දුරටත් තොරතුරු වාර්තා කර තිබෙන්නේ එසේ පැමිණෙන පෙළපාලිය ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සහ නිල නිවාස වලට බලහත්කාරයෙන් ඇතුල් වීමේ අවදානමක් පවතින බවටයි.

බුද්ධි අංශ වාර්තාවලට අනුව හෙළිදරව් වූ එම පෙළපාලිය තහනම් කරමින් නියෝගයක් ගැනීමට කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළද එය ප්‍රතික්ෂේප වුණා.

තීන්දුවට හේතුව

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී ප්‍රභාකරන් මහතායි.

මහේස්ත්‍රාත්වරයා ඊට හේතුව ලෙස පෙන්වා දී තිබෙන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වැළැක්වීම සඳහා තමන්ට නියෝග නිකුත් කළ නොහැකි බවයි.

කොටුව පොලිසිය මෙසේ තහනම් නියෝගයක් ඉල්ලා සිටියේ එම පෙළපාලිය සංවිධානය කරන බවට විශ්වාස කෙරෙන වග උත්තරකරුවන් 16 දෙනෙකුට එරෙහිවයි.

සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2017 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුල සුර්යබල, කුඩාජල විදුලිබලාගාර, ඇතුළු බලාගාර 144ක් ඉදිකිරිම සදහා අයෝජකයින්ගෙන් මුදල් හා අයදුම්පත් ලබාගෙන තිබෙනවා.

නමුත් එම ව්‍යාපෘති ලංකා විදුලිබල මණ්ඩලය වෙත අනුමැතිය සදහා යොමුකොට තිබුනද එම ව්‍යාපෘති සම්බන්ධව මෙතෙක් කිසිදු ප්‍රගතියක් අත්කරගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්.

ඒ අනුව ප්‍රභවයන් 07ක් යටතේ ව්‍යාපෘති 144ක් වෙනුවෙන් ඉදිරිපත්වු අයදුම්පත්වලට අනුව ධාරිතාවය මෙගාවොට් 699.96ක්.

මෙකි ව්‍යාපෘති සදහා අයදුම් කිරිමේ දි අයදුම්පත් ගාස්තු වශයෙන් රුපියල් 42‚233‚000ක මුදලක් සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ලබාගෙන තිබෙනවා.

එලෙස ඉදිරිපත්වන අයදුම්පත් සදහා අනුමැතිය ලබාදිම දිගින් දිගටම ප්‍රමාද වි පැවති බවද විගණන වාර්තාවේ සදහන්.

අදාල ආයතන දෙක අතර සම්බන්ධීකරණයේ පවැති දුර්වලතාවයන් මෙකි ප්‍රමාදවිම් වලට මුලික හේතුව බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

 

 

Page 1 of 47