April 27, 2024

අතරමං වූ කැස්බෑ පැටව් ගෙදර යයි

නොරොච්චෝලේ ඉලංතඩිය වෙරළේ අතරමං ව සිටි ගල් කැස්බෑ වර්ගයට අයත් කැස්බෑ පැටවුන් 100 දෙනෙකු ඉලංතඩිය වෙරළෙන් මහ මුහුදට මුදා හැර ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු පවසයි.

පසුගිය කාලයේ දී කල්පිටිය මුහුදේ ද විශාල කැස්බෑ ගහනයක් පැවැතිය ද ධීවර කටයුතු සහ සංචාරක කටයුතු පුළුල් ව සිදු කිරීම ආරම්භ කිරීමත් සමග කැස්බෑවුන් සොයා ගැනීම දුශ්කර කාර්යයක් විය.

ඊට විශාල හේතුවක් වූයේ කැස්බෑ මසට විශාල ඉල්ලුමක් පැවතීමයි. කුමන බාධා පැවැතිය ද ඇතැම් පුද්ගලයින් රහසිගත ව කැස්බෑවුන් අල්ලා මරා එම මස් අලෙවි කරයි.

පසුගිය දිනෙක වෙරළට පැමිණි ඉලංතඩිය තරුණ ධීවරයින් පිරිසකට වෙරළ පුරා අතරමං ව සිටි ඉතා කුඩා කැස්බෑ පැටවුන් විශාල සංඛාවක් දක්නට ලැබී තිබේ.

කලින් දින රාත්‍රීයේ දී වෙරළේ වැලි අතර දමා තිබූ කැස්බෑ බිත්තර බිඳී පිටතට පැමිණි එම පැටවුන් වෙරළේ අතරමං ව ඇති හෙයින් එම පැටවුන් අසල පිහිටි වන ජීවි කාර්යාලයට භාර දී ඇත.

අනතුරු ව ඉලංතඩිය වන ජීවි කාර්යාලයේ නිලධාරීන් අතරමං ව සිටි කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැර ඇත. 

ඔගස්ටින් ප්‍රනාන්දු

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 March 2014 16:56