April 28, 2024

මහ බැංකුවේ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට අදට වසර 19 යි

පුද්ගලයන් 96 දෙනකු මරු තුරුළට යවමින් ද 200 කට ආසන්න පිරිසකට තුවාල සිදුකරමින් ද කොළඹ ලේ විලක්‌ කළ කොළඹ කොටුව මහ බැංකු මූලස්‌ථානයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයට අදට (31) 19 වසරක්‌ සපිරෙයි.

රාජු නමැති මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදියා විසින් 1996 ජනවාරි 31 වැනිදා මුළු රටම සලිත කරමින් මෙම ප්‍රහාරය සිදුකරන ලදී. පුපුරණ ද්‍රව්‍ය කිලෝ 200 ක්‌ පැටවූ ලොරි රථයකින් මහ බැංකු මූලස්‌ථානයට කඩා වැදුණු රාජු නමැති ත්‍රස්‌තවාදියා එය පුපුරුවා හැරීමෙන් මෙම විනාශය සිදුවුණි.

ඊට ටික කලකට පසු කොටුවේ දී අත්අඩංගුවට පත් වූ රඝූ නමැති ත්‍රස්‌තවාදියාගෙන් ත්‍රස්‌ත මර්දන ඒකකය කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම ප්‍රහාරය ප්‍රභාකරන් මෙහෙයවූ බව හෙළි වූ අතර එය සනාථ වූයේ ප්‍රහාරයේ සාර්ථකත්වයට ප්‍රභාකරන් විසින් රඝූට තිළිණ කර තිබූ සමරු ඵලකයේ ත්‍රස්‌ත නායක ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු තිබීම හේතුවෙනි.

රඝූ නමැති ත්‍රස්‌තවාදියාට තිළිණ කළ මෙම සමරු ඵලකය සොයා ගැනීමට ත්‍රස්‌තමර්දන ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දීන්ට හැකියාව ලැබුණු අතර ඉතා වෙහෙසකර මෙහෙයුමකින් පසු ඔහු එය සොයාගත්තේ මුතූර්වල පිහිටි රඝූගේ නිවසේ තිබියදීය.

පසුව එම සමරු ඵලකයේ තිබූ ඇඟිලි සලකුණු තමිල්නාඩු පොලිසියේ පැවැති ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සමඟ සසඳා එය ප්‍රභාකරන්ගේම ඇඟිලි සලකුණු බවට තහවුරු කර ගැනිණි.

මෙම ම්ලේච්ඡ ත්‍රස්‌ත ක්‍රියාවට විරුද්ධව පොලිසිය ප්‍රභාකරන්ට විරුද්ධව අධිකරණයේ නඩු පැවරූ පසු එවකට සිටි මහ අධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා කොටි නායක ප්‍රභාකරන්ට වසර 200 ක සිර දඬුවමක්‌ පැනවූ අතර කොටි සංවිධානයේ සියලු වත්කම් රාජසන්තක කරන ලෙසද නියෝග කළේය.

නමුත් මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් ත්‍රස්‌තවාදීන් කීපදෙනකු තවමත් නිරුපද්‍රිතව විදේශ රටවල සිටින බව අනාවරණය වේ.

(දිවයින)

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 February 2015 15:28