May 07, 2024

මහින්ද - මෛත්‍රී සටනට සියල්ල සූදානම්

2015 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදුකිරීම සඳහා අද (07) පෙරවරුවේ සියලු ඡන්ද පෙට්‌ටි විශේෂ පොලිස්‌ ආරක්‍ෂාව මැද අදාළ දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලවල සිට ඡන්ද මධ්‍යස්‌ථාන කරා ගෙනයාමට නියමිතය. 

මේ අතර ඡන්ද පෙට්‌ටි සමඟ මැතිවරණ නිලධාරීන් හා අදාළ ලිපි ලේඛන ද ඡන්ද මධ්‍යස්‌ථාන කරා පිටත් කර යවනු ලබන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

මැතිවරණ දිස්‌ත්‍රික්‌ක 22 පුරා ඡන්ද මධ්‍යස්‌ථාන 12,313 කදී ඡන්ද විමසීම සිදුකරන අතර ඒ සඳහා නිලධාරීහු එක්‌ලක්‍ෂ පනස්‌දහසක්‌ පමණ මැතිවරණ රාජකාරිවල නිරත වේ.

ඡන්ද පෙට්‌ටි ප්‍රවාහනයට ශ්‍රීලංගම බස්‌ රථ හා රජයේ වාහන යොදාගැනෙන අතර ප්‍රමාණවත් වාහන නොමැති දිස්‌ත්‍රික්‌කවලට පෞද්ගලික වාහන කුලී පදනම මත ලබා ගැනේ. ඊට අමතරව ගොඩබිමෙන් ඡන්ද පෙට්‌ටි ප්‍රවාහනය කිරීමට නොහැකි යාපනය සහ මන්නාරම දිස්‌ත්‍රික්‌කවල ප්‍රවාහන කටයුතුවලට හෙලිකොප්ටර් හෝ බෝට්‌ටු යොදාගැනීමට නියමිතය.

ඡන්ද මධ්‍යස්‌ථාන පිහිටුවීමෙන් පසුව අද සවස අදාළ මධ්‍යස්‌ථානයේ සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පෙරහුරු පවත්වන ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා නිලධාරීන්ට උපදෙස්‌ දී තිබේ.

සෑම ඡන්ද මධ්‍යස්‌ථානයකටම පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු බැගින් ආරක්‍ෂාවට යොදවනු ලබයි. ඊට අමතරව ජංගම මුර සේවා හෙට (08) දහවල් සිට සිදුකරන ලෙස පොලිසියට දැනුම් දී ඇත.

මේ අතර මැතිවරණරාජකාරියට පොලිස් නිලධාරීන් ගණන 65,000ක් යොදවා ඇති බවත් රටපුරා ස්ථිර මාර්ගබාධක 400කට වැඩි සංඛ්‍යාවක් සකස් කර තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

Rate this item
(0 votes)