May 08, 2024

මැතිවරණ නීති කැඩූ 09 දෙනෙකු රිමාන්ඩ්

ජනාධිපතිවරණයට සම්බන්ධ අත් පත්‍රිකා බෙදා හරිමින් සිටියදී පුත්තලම නගරයේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනෙකු මෙම මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.

පසුගිය 03 වැනිදා දහවල් පුත්තලම නගරයේදී මෙම ගැටුම හට ගෙන තිබුණි. ගැටුමේදී පුත්තලම දේශපාලන දැණුවත් කිරීමේ සංවිධානයේ සාමාජිකයින් 04 කු තුවාල ලබා මේ වන විට පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කරන ලෙස දැක්වෙන පත්‍රිකාවක් තමන් බෙදා හරිමින් සිටින විට කඩා වැදුණු පුත්තලම නගරාධිපතිවරයාට සම්බන්ධ කණ්ඩායමක් විසින් මෙම පහර දීම සිදු කළ බව රෝහල් ගත කර සිටින අය පොලීසිය හමුවේ පවසා ඇත.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර පුත්තලම දේශපාලන දැණුවත් කිරීමේ සංවිධානයේ සාමාජිකයින් 03 කුද වේ. පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. 

මේ අතර ව්‍යාජ ඡන්ද පත්‍රිකා දෙකක් ළග තබා ගෙන සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති නවගත්තේගම පොලීසිය සැකකරුවන්ව පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්ගේම නගරයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව පොලීසිය කියයි.

සැකකරුවන් සතුව තිබී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට ඡන්දය භාවිතා කරන ආකාරය සටහන් කර තිබූ ව්‍යාජ ඡන්ද පත්‍රිකා දෙකක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකා දෙක සැකකරුවන්ට කව්රුන් විසින් ගෙනවිත් දුන්නාද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව පොලීසිය කියයි.

නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරයි. 

පුත්තලම - ජුඩ් සමන්ත

 

Rate this item
(0 votes)