May 03, 2024

ජනපති ඉල්ලා අස්වුණාද? කතානායකගෙන් ප්‍රකාශයක් - විපක්ෂ නායක උත්තර දෙයි

ජනාධිපතිවරයා ඉල්ලා අස්වුණැයි කතානායකවරයාට ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්තියක් පල වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එය සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රවෘත්තියක් බවත් උදේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තමා කළ කතාව විපක්ෂ නායකවරයා වැරදි ලෙස විග්‍රහ කර ඇති බවත් කතානායකවරයා පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තුවේ 113ක බලයක් ගෙන ජනාධිපතිවරයා හමුවුවහොත් ආණ්ඩුව දෙන්න ජනාධිපතිවරයා සූදානම් බවට තමා ප්‍රකාශ කළ බවත් එය අදටත් වලංගු බවත් ඔහු කියා සිටියා.

එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ පක්ෂ නායක රැස්වීමේදී දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාද ඉදිරියේදී "මේ සභාවේ පක්ෂ නායකවරු ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න කියා ඉල්ලීමක් කළහොත් එතුමා ඊට සූදානම්" යැයි කතානායකවරයා ප්‍රකාශ කළ බවයි.

ඊට වේලාවක් වෙන් කර දෙන්නැයි එහිදී තමා කතානායකවරයා කියා සිටි බවයි සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ.

"පක්ෂ නායකයන් සියලුම දෙනා ඉල්ලා අස්වෙන්න කියනවනම් ජනාධිපති ඊට සූදානම් බව ඔබතුමා පක්ෂ නායක රැස්වීමේදී කිව්වා. විපක්ෂයේ සියලුම නායකයන් ඒකමතිකව ඒ යෝජනාව කරන්න සූදානම්" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේදී පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසුවා. 

විපක්ෂයේ සියලුම නායකයන් ඒකමතිකව ඒ යෝජනාව කරන්න සූදානම්" යැයි ද විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 20 April 2022 13:54