May 13, 2024

ජනතා කැරැල්ලකට ඉඩ තියන්න එපා: ගම්මන්පිලගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාව දැවැන්ත විදේශ විනිමය අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවට තමන් ජනතාව දැනුවත් කළ විට ආන්ඩුවේ ඇතමුන් තමාට චෝදනා එල්ල කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හෙළිදරව් කරනවා.

ජනතාව බොරුවට බය කරන බවට ඒ අවස්ථාවේ තමාට චෝදනා කරමින් මේ අර්බුදය සඟවා තැබීමට ආණ්ඩුවේ ඇතැමුන් උත්සාහ කළ බවයි ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ.

අනතුරු ඇඟවීම

ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමකදී තමා සහ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා නුදුරු අනාගතේදී රට මුහුණ දෙන විදේශ විනිමය අර්බූදය ගැන සඳහන් කළ බව අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ඊට ලැබුණු ප්‍රතිචාරයද අනාවරණය කරමින්.

"විදේශ විනිමය අර්බූදයක් නැහැ.මේ තියෙන්නෙ ආණ්ඩුවේ බැංකු දෙකේ නිලධාරීන් කරන මගඩියක්.ඒක සති දෙකක් ඇතුළත විසඳනවා." යැයි ඒ අවස්ථාවේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් නැගිට සඳහන් කළ බවයි ගම්මන්පිල මහතා මතක් කර දෙන්නේ.

මේ ප්‍රශ්නය මේ වන විට උඩු දුවා මෝරා අවසන් බැවින් තව දුරටත් මේ අර්බුදය හංගන්නේ නැතිව එය පිළිගැනීම එම අර්බුදය විසඳීමේ පළමු පියවර ලෙසයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

අර්බුදයට විසඳුම

වැඩිදුරටත් අදහස් දක්වන ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ අර්බුදය පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බැවින් ඊට විසඳුමද ජනතාව හමුවට ගෙන ආ යුතු බවයි.

ඇමතිවරයා එසේ සඳහන් කරන්නේ ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්ද කරමින්.

ඒ මේ වන විට අඳුරේ අතපත ගාමින් සිටින ජනතාව විශ්වාසභංගත්වයට පත් වුවහොත් ජනතාව කැරලි ගසන තත්ත්වයකට පත්වීම නැවැත්වීමට කිසිවකුටත් නොහැකි බවටයි.

උදය ගම්මන්පිල ඇමැතිවරයා මේ අදහස් පළ කළේ 'මුළු රටම එක මගට" ප්‍රකාශනය එලි දැක්වීමේ උත්සවය අමතමින්.

එම ප්‍රකාශනය එළි දැක්වූයේ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 සහභාගිත්වයෙන්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 March 2022 12:21