May 04, 2024

ආණ්ඩුව ගැන මෛත්‍රී කණගාටුවෙන්! මගේ කාලේ ජනතාව හිටියේ සතුටින්

February 22, 2022

උතුරේ ධීවරයින්ට සිදුව ඇති අසාධාරනය පිළිබඳව රජය විසින් කඩිනමින් ඉන්දියාව සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දිය යුතු බවට හිටපු ජනාධිපති ශ්‍රීලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රීලංකා නිදහස් පක්ෂ වන්නි සමුළුව වව්නියාවේදී පැවත්වීමෙන් අනතුරුව පෙරේදා (20) දින යාපනය වඩමාරච්චි, කරවෙඩ්ඩි නෙල්ලිඅඩි ක්‍රීඩාංගනයේදී පැවති යාපනය දිස්ත්‍රීක් සමලුවට සහභාගී වී ජනතාව ඇමතූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

පළමුව යාපනය නාග විහාරයට ගොස් ආගමික වතාවත් සිදුකොට නාග විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල හිමයන්ගෙන් ආශිර්වාද ලබා අනතුරුව යාපනය නල්ලූර් කෝවිලට ගොස් හින්දු ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව යාපනය රදගුරු නිවසේදී රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමාද හමු වී ආශිර්වාද ගෙන විශාල ජනතාවක් රැස්ව සිටි නෙල්ලිඅඩි ක්‍රීඩාංගනයේ ජනරැලියට සහභාගී වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා.

යාපනය දිස්ත්‍රීක්කයේ පසුගිය මැතිවරණයේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයට එකම මන්ත්‍රී ආසනයක් දිනා දුන් වඩමාරච්චි කරවෙඩ්ඩි ප්‍රදේශවාසීන්ට පළමුව හිටපු ජනාධිපතිවරයා ප්‍රණාමය පුදකර තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේ,

"පළමුවෙන්ම උතුරේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග අලුත් ගමනකට යාමට එකට එක්වන්නැයි කියලා. උතුරේ ජනතාව මට 95 % ක් මට ඡන්දය ලබා දුන්නා හංසයා ලකුණට. මගේ ජයග්‍රහනය 2015 දී මේ රටේ සියලුම දේශපාලන පක්ෂවල නායකයින්ගේ ඇස් ඇරුනා. ඊට පසුව තමයි හැම දේශපාලන නායකයෙකුටම හිතුනේ උතුරු නැගෙනහිර ජනතාවටත් දකුණෙ ජනතාවට වගේම සංවර්ධනයක් ඕන කියලා. 

හොරකම නැති දූෂණය නැති දේශපාලඥයින් සිටින පක්ෂයක් විදිහට අපි මේ පක්ෂය ජනතාවාදීව ඉදිරියට ගෙනයනවා. හොඳ ගමනක් යන්න අපි මේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය මේ රටේ තරුණ පරපුරට භාර දෙනවා.

රටේ කෘෂිකර්මාන්තය ලොකු අර්බුදයක් තියනවා. ගොවි ජනතාවට වැඩකරන්න පොහොර ටික නැහැ. අපි ඉතාම කනගාටු වෙනවා ඒ තත්වය ඇති වී තිබීම ගැන. මගේ පාලන කාලය තුල ජනාධිපතිවරයා වශයෙන් අද තියෙන ප්‍රශ්න කිසි දෙයක් එදා තිබුනේ නැහැ. රටේ ජනතාව හොඳින් ජීවත් වුනා. බඩුමිලත් පහල මට්ටමක තිබුණා. ඒ වගේම අපි ජාත්‍යන්තර වශයෙන් හොඳ සබඳතා ඇතිකරගෙන තිබුනා. මුලු ලෝකෙම සියලුම රාජ්‍ය නායකයින් මම මිත්‍ර කරගෙන සිටියා. ඒ නිසා මේ රට කරගෙන යන්න එදා මට ලෝකයේ සියලුම නායකයින් සහය දුන්නා.

දැන් බලන්න අද උතුරේ විශේෂයෙන්ම ධීවර ජනතාවට වෙලා තියන කරදරය. මේ ගැටලු විසඳන්න රජය විශේෂයෙන්ම මැදිහත් වෙලා වහාම ඒ ප්‍රශ්න විසඳන්න ඕන. ඉන්දීය රජය සමග සාකච්ඡා කරල මේ උතුරේ ධීවර ජනතාවට වන කරදර නැවත්වීමට කඩිනම් පියවර ගන්න ඕන. ඒක රජයේ වගකීමක්." යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 22 February 2022 12:39